Home » ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වර්ජනය අවසන්

ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ වර්ජනය අවසන්

8 වාට්ටුවේ B අංශය තාවකාලිකව වසයි

by sachintha
July 20, 2023 1:00 am 0 comment

 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අට වාට්ටුව බී අංශය පෙරේදා (18) සිට තාවකාලිකව වසා දමමින් එහි නේවාසිකව ප්‍රතිකාර ලැබූ දරුවන් වෙනත් වාට්ටුවලට මාරු කර යැවූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සන්තුෂිත සේනාපති මහතා ‘දිනමිණ‘ට ඊයේ (19) පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත එම තීරණය ක්‍රියාත්මක කළ බවත් අදාළ වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් තිදෙනා වෙනත් ස්ථානවලට යොමු කළ බවත් ඒ මහතා පැවසුවේය.

ජුනි මස 21 වැනිදා සිට මසකට ආසන්න කාලයක් මෙම වෛද්‍යවරුන් රෝහලේ සේවයට වාර්තා කර නැති අතර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

රෝහලේ 8 වාට්ටුවේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියක සහ වෛද්‍යවරුන් තිදෙනකු අතර ඇති වී තිබෙන අමනාපයක් නිසා අදාළ වෛද්‍යවරුන් තිදෙනා මාසයකට ආසන්න කාලයක් රෝහලේ සේවයට වාර්තා කර නැති බවට වාර්තා වේ.

මෙම ගැටලුව වසරකට අධික කාලයක සිට පැවතියත් සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා තිබුණ ද මෙතෙක් මේ සම්බන්ධයෙන් විසඳුමක් දී නැති බවට වාර්තා වේ.

මෙම තත්ත්වය තුළ වාට්ටුවට රෝගී දරුවන් ඇතුළත් කර ගැනීම ද පසුගිය කාලයේදී සීමා කර තිබිණි.

විශේෂඥ වෛද්‍යවරිය සහ වෛද්‍යවරුන් තිදෙනා අතර ඇතිව තිබෙන ගැටලුවට රෝහල් අධ්‍යක්ෂවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසඳුමක් දීමට අසමත් වීම හේතුවෙන් ඊයේ (19) උදෑසන 08 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බාහිර රෝගී අංශයේ පැය 24ක සංකේත වැඩ වර්ජනය අතරමඟදී නවතා දැමීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් තීරණය කර තිබේ.

මෙම ගැටලුවට දැනට තාවකාලිකව විසඳුමක් දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීම සංකේත වැඩ වර්ජනය නවතා දැමීමට හේතු වී ඇත.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT