පහර දීමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් සටහන් කර නොගැනීම හේතුවෙන් මාවතගම පොලිසියේ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට කුරුණෑගල සහකාර පොලිස් අධිකාරිවරයා පෙරේදා (18) පියවර ගෙන තිබේ.
මෙසේ වැඩ තහනම් කර ඇත්තේ නෙල්ලිඅඩි පොලිස් ස්ථානයේ සිට තාවකාලික ස්ථාන මාරුවීමක් ලැබ මාවතගම පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටි කොස්තාපල්වරයෙකුගේය.
මෙම කොස්තාපල්වරයාව පසුගිය 17 වෙනිදා සවස 6.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා පොලිස් ස්ථානයේ පැමිණිලි භාර ගැනීම ඇතුළු රාජකාරි කටයුතු සඳහා යොදවා තබා ඇත. මෙම රාජකාරි කටයුත්ත පොලිසිය තුළ හඳුන්වනු ලබන්නේ උපසේවක රාජකාරිය ලෙසිනි.
මෙම නිලධාරියා රාජකාරියේ නිරතව සිටින අවස්ථාවේදී මාවතගම වෑඋඩ කඳුරුඅංග ගම්මානයේ පදිංචි පුද්ගලයෙක් පොලිසියට පැමිණිල්ලක් කිරීමට පැමිණ ඇත්තේ සිය පුතා විසින් ලේලියට පහර දෙන බවටය. එම පැමිණිල්ල මෙම කොස්තාපල්වරයා භාර නොගෙන ඇති බවත් මේ ගැන එම පුද්ගලයා ඉහළ පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බවත් මාවතගම පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ඒ අනුව විමර්ශනයක් පවත්වා මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට සහකාර පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.
ගයාන් කුමාර වීරසිංහ