එජාප සභපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන
ජාතියේ යහපත පිණිස ජනමත විචාරණයක් ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කළ හැකි යැයි එජාප සභපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. ජාතියක් විනාශ කිරීමේ අරමුණින් කවුරුන් හෝ මැතිවරණයක් ඉල්ලා සිටින්නේ නම් එයට ඉඩ දිය නොහැකි යැයිද ඒ මහතා කීය. එක්සත් ජාතික පක්ෂ තෙල්දෙණිය ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය ඇත්තේ මහජනතාවට බවත් ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 මැතිවරණය ජය ගෙන ව්‍යවස්ථාව වෙනස් කර ජනපති ධුරයට පත්ව හය වසරකට පසු තමන්ගේ වැඩපිළිවෙළ තවත් වසර 6ක කාලයක් ඉදිරියට ගෙන යෑම සඳහා ජනතා කැමැත්ත විමසූ බවත්, ඒ සඳහා ජනතා කැමැත්ත හිමි වූ බැවින් එම ආණ්ඩුව මැතිවරණයක් නැතිව වසර 12ක් ඉදිරියට ගිය බවත් හෙතෙම අවධාරණය කළේය. ජනපති සමඟ ඇමැති මණ්ඩලයද වෙනස් නොවී අවුරුදු 12ක් අඛණ්ඩව කටයුතු කිරීම නිසා වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය වැනි යෝධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර රට සංවර්ධන මාවතට යොමු කරගැනීමට හැකි වූ බවත් ඒ මහතා කීය. ජාතික ප්‍රතිපත්තියක් අනුව රට එක දිගට යම් කාලයක් පාලනය කිරීමට අවස්ථාව තිබිය යුතු බවත් එසේ නැතිව රට ගොඩ ගත නොහැකි බවත් අබේවර්ධන මහතා පැවසීය. හොරු කියමින් එකිනෙකාට චෝදනා කරමින් සිටිනු වෙනුවට, ජනපති මැදිහත්ව හොරු පාලනය කළ හැකි දූෂණය පිටු දැකීමේ පනත ගෙනවිත් තිබෙන්නේ යැයිද හෙතෙම පැවසීය. දැන් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ 69 ලක්ෂයක් අනුමත කළ වැඩපිළිවෙළ නොව, 250,000ක් අනුමත කළ වැඩපිළිවෙළ යැයිද ඒ මහතා කීය. මේ අවස්ථාවට එජාප මහනුවර දිස්ත්‍රික් නායිකා ශාන්තිනී කෝන්ගහගේ, තෙල්දෙණිය එජාප ආසන සංවිධායක ජනක බණ්ඩාර නුගපිටිය යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.
අසේල කුරුළුවංශ