Sunday, April 20, 2025
Home » ආසියාව ජය ගත් මලල ක්‍රීඩා ශූරයෝ යළි ගෙදර එති

ආසියාව ජය ගත් මලල ක්‍රීඩා ශූරයෝ යළි ගෙදර එති

by mahesh
July 19, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඡායාරූප – කටුනායක – ටී.කේ.ජී. කපිල

තායිලන්තයේ බැංකොක් නුවර පැවති 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ පදක්කම් දිනාගත් ජයග්‍රාහි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පෙරේදා රාත්‍රියේ යළි මෙරටට පැමිණියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේදී රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමඟින් පදක්කම් 8 දිනාගත් අතර, ඒ සමඟ පදක්කම් සටහනේ සිවුවැනි ස්ථානය හිමි විය. මේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව හිමි කර ගත් ඉහළම ස්ථානය මෙයයි.

එහිදී පදක්කම් 3කට හිමිකම් කීමට යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වූයේ නව තරගාවලි සහ ජාතික වාර්තාවක් සමඟින් මීටර් 800 රන් පදක්කම සමඟ මීටර් 400 කාන්තා සහාය සහ මිශ්‍ර සහාය ඉසව්වල රිදී පදක්කම් දිනාගත් කණ්ඩායමේ සාමාජිකාවක ද වීමෙනි. කාන්තා මීටර් 400 ඉසවේ රන් පදක්කම දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වූ අතර, පිරිමි මීටර් 400 සහාය ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වූයේ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි.

මීටර් 400 කාන්තා සහ මිශ්‍ර සහාය රිදී පදක්කම් ශ්‍රී ලංකාවට හිමි වූ අතර, ගයන්තිකා අබේරත්න මීටර් 800 සහ 1500 ලෝකඩ පදක්කම් දිනාගත් අතර, නදීකා ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

ගුවන්තොටුපොළේදී අදහස් දැක්වූ තරුෂි කරුණාරත්න පැවසුවේ තමන් සහභාගිවූ පළමු ජ්‍යෙෂ්ඨ ශූරතාවලියේදීම පදක්කම් දිනා ගැනීමත් වාර්තාවකට යෑමට හැකි වීමත් විශාල ජයග්‍රහණයක් බවයි. ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීම සහ ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළේදී පදක්කමක් දිනා ගැනීම ඇයගේ බලාපොරොත්තුව වී තිබේ. ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ඇති බැවින් එහිදී හෝ ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීම තම කණ්ඩායමේ අරමුණ බව පිරිමි මීටර 400 සහාය ඉසව්වට එක් වූ ක්‍රීඩකයෝ කියා සිටියහ. බැංකොක් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා යුද හා නාවික නිලධාරීන් සමඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මවුපියෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT