සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සවුද් ෂාකීල් වාර්තා කළ ද්විත්ව ශතකයෙන් වර්ණවත් වූ පාකිස්තාන පිලේ පළමු ඉනිම ලකුණු 461ක් දක්වා ඉහළ ගියේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට ලකුණු 312ක් හා ඊයේ තෙවැනි දිනය නිමා වෙද්දී දෙවැනි ඉනිමට කිසිවකු නොදැවී ලකුණු 14ක් ලබා සිටි හෙයින් පාකිස්තාන පිල මේ වනවිට ලකුණු 135ක් ඉදිරියෙන් සිටී.
පාකිස්තාන ඉනිම ඉහළටම ඔසවා තැබූ 27 හැවිරිදි සවුද් ෂාකීල් පන්දු 361කදී හතරේ පහර 19ක් සමග ලකුණු 208ක් වාර්තා කළේය. ෂාකීල් මේ ක්‍රීඩා කරන්නේ සිය 6 වැනි ටෙස්ට් තරගයට වන අතර, මෙතෙක් ක්‍රීඩා කළ ඉනිම 11කදී ශතක 2ක් හා අර්ධ ශතක 5ක් රැස් කර ගැනීමට සමත්ව සිටී.
කෙසේ වුවද ප්‍රභාත් ජයසූරිය විසින් සවුද් ෂකීල්ට එවූ පන්දුවකට ‘ඩීප් මිඩ්විකට්’ දෙසට එල්ල කළ පහසු උඩ පන්දුවක් හතරේ සීමාව අසලදී මැතිව්ස් අතින් ලකුණු 139ක් ලබා සිටියදී ගිලිහී යෑම ශ්‍රී ලංකා පිලට අවාසිදායක විය. එයින් පසු සවුද් ෂාකීල් තවත් ලකුණු 69ක් තම ඉනිමට එක් කර ගත්තේය. ඔහුට අනගි සහායක් දෙමින් අනෙක් අන්තයේ සිටි නෝමන් අලී ලකුණු 25ක් හා පන්දු 78කට මුහුණදී නියම ටෙස්ට් ක්‍රිකට් රටාවේ ක්‍රීඩා කළ නසීම් ෂා ලකුණු 6ක් ලබා ගැනීමට සමත් විය.
නසීම් ෂා එලෙස සංයමයෙන් ක්‍රීඩා කළ ද සවුද ෂාකීල් සමඟ එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 94ක සබඳතාවක් පාකිස්තාන ඉනිම වෙනුවෙන් ගොඩනැඟී තිබිණ.
ශ්‍රී ලංකා පිලේ දඟ පන්දුවට ගාලු තණතිල්ලේ වෙනදා මෙන් සාධාරණත්වයක් ඉටු නොවිණි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 145කට කඩුලු 3ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 136කට කඩුලු 5ක් බිඳ හෙළා ගත්තද පාකිස්තාන ලකුණු පුවරුවෙන් අඩක් පමණ මේ දෙදෙනාගේ පන්දුවලින් වාර්තා විය. පාකිස්තානය මුහුණදුන් ඕවර 121.2කදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් යොමු කළේ නිලකුණු ඕවර 8ක් පමණි. ප්‍රභාත් ජයසූරිය ගාලු පිටියේ පැවති ටෙස්ට් ඉනිම තුනකදීම පිට පිට කඩුලු 5කට වඩා ලබා ගත්තද මේ තරගයේදී ඒ ආකාරයෙන් කඩුලු බිඳ හෙළීම අපහසු විය.
පාකිස්තාන මුල් කඩුලු 5 ලකුණු 101ක් තුළ දැවීගොස් තිබියදී 6 වැනි කඩුල්ලට පන්දු 218කදී ලකුණු 177ක සබඳතාවක් ගොඩනැඟූ සවුද් ෂාකීල් හා අගාර් සලමාන් පාකිස්තාන ඉනිම ගොඩනැංවීමට සමත් වූහ. අගාර් සලමාන් මිනිත්තු 166ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 113ක් තුළදී හතරේ පහර 9ක් හා හයේ පහරක් සමඟ ලකුණු 83ක් වාර්තා කිරීමට සමත් විය.
පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරගයකදී දෙවැනි වේගවත් ලකුණු සබඳතාව සවුද් ෂාකීල් හා අගාර් සලමන් වාර්තා කළහ. ඔවුන් ගොඩනැඟූ සබඳතාව ඕවරයකට ලකුණු 4.96 වේගයකින් යුක්ත විය. මෙයට පෙර 2002දී සිම්බාබ්වේට එරෙහිව හරාරේහී පැවැති ටෙස්ට් තරගයේදී තව්ෆීක් උමාර් සහ ඉන්සමාම් උල්හක් ඕවරයකට ලකුණු 5.65ක වේගයකින් ලකුණු 180ක සබඳතාවක් ගොඩනඟා තිබිණි. පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනකින් යුත් වේගවත් සබඳතාවක් වූයේ යුනිස් ඛාන් සහ මොහොමඩ් යූසුෆ් එක්ව 2016 වසරේ ලාහෝර්හිදී ඉන්දියාවට එරෙහිව ඕවරයකට ලකුණු 4.90ක වේගයකින් ලකුණු 319ක් රැස් කිරීමය.
අද තරගයේ සිවුවැනි දිනයයි.