Home » අන්තර්ජාලයෙන් ඉඩම් හා ත්‍රීවීල් වංචාවකට I R C කාරයෙකු හබරකඩින් අල්ලයි

අන්තර්ජාලයෙන් ඉඩම් හා ත්‍රීවීල් වංචාවකට I R C කාරයෙකු හබරකඩින් අල්ලයි

by mahesh
July 19, 2023 1:00 am 0 comment

උකුවෙල සංචාරක ප්‍රියන්ත සුමනසේන

දිවයිනේ ලියාපදිංචි I R C කාරයෙකු අන්තර් ජාලයේ පළකර ඇති වෙළෙඳ දැන්වීමක් හරහා තොරතුරු රැස්කරගෙන ඉඩම් සහ වාහන ඇතුළු සොරකම් රැසක් සහ පෙර වැරදි 24ක් සහිත පුද්ගලයෙකු මාතලේ පල්ලේපොළ ත්‍රීවීල් රථයක්, කලල්පිටියදී ඉඩමක් පෙන්වා ත්‍රීවීල් රථයක් පැහැරගෙන ගොස් අතරමඟදී රුපියල් නවලක්ෂ පනස්දහසකට විකුණා සැඟව සිටියදී මාතලේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඒකනායක මහතා ඇතුළු කණ්ඩායම සැකකරු අතුරුගිරිය හබරකඩදී අත්අඩංගුවට ගෙන ඇත.

මාතලේ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව තොරතුරු රැස්කරගෙන සී.සී.ටී.වී. නිරීක්ෂණ හා දුරකතන විශ්ලේෂණ පිළිබඳ විමර්ෂණය කර සැකකරු ත්‍රීවීල් රථය හොරකම් කර පලාගිය මාර්ගය ඔස්සේ යමින් තොරතුරු ලබා ගැනීමට හැකිව ඇත.

මෙම පුද්ගලයා දිවයිනේ ප්‍රසිද්ධ ලියාපදිංචි I R Cකාරයෙකු ලෙසත් මහරගම පොලිසිය නිරීක්ෂණය කරන අයෙකු හා පෙර වැරදි 24ක්, හැඳුනුම්පත් දෙකක් සමඟින් අඹවත්තේ රංජිත් නමින් රාජගිරිය ලිපිනයකත්, වීරසිංහ ආරච්චිලාගේ අනුර වීරසිංහ නමින් රත්නපුර නිවිතිගල පදිංචි බවට වෙනස් කරමින් කිසිදු මැතිවරණ ලේඛනයකට සඳහන් නොවී මෙලෙස හොරකම් කිරීම්වලදී මුදල්වලින් කැසිනෝවලට වියදම් කරන පුද්ගලයෙකු බවට ද අනාවරණය වී ඇත.

පුවත්පත්වල වෙළෙඳ දැන්වීමකින් තොරතුරු බලා මාතලේ පල්ලේපොළ විකිණීමට තිබූ ත්‍රීවීල් රථයක් හා කලල්පිටිය විකිණීමට තිබූ ඉඩමක් සම්බන්ධ කර දුරකතනයෙන් කතාබස් කර පල්ලේපොළ ත්‍රීවිල් රථය මිලදී ගැනීමට විස්තර ලබා ගෙන මාතලේ නගරයට ලිපි ලේඛන සියල්ල සමඟ රැගෙන එන ලෙසට දන්වන්නේ ත්‍රීවීල් රථය මිලදී ගන්නා අරමුණ ඇතිවය. ඉඩම හිමි අයටද කතා කර මිලදී ගැනීමට එන බව පවසා ත්‍රීවීල් රථයෙන් කලල්පිටිය ඉඩම බැලීමට ගොස් ‘ඔන්න නෝනා අපි කියපු වෙලාවට ඉඩම බලන්න ආවා’ කියා පවසමින් ත්‍රීවීල් රථයෙන් බැස මඳ වෙලාවකදී එහෙම නම් නෝනා මම මේ ත්‍රීවීල් එක ට්‍රයල් එකක් බලනකල් ගනු‍දෙනු කතා කරන්න කියා සියලු ලේඛන සමඟ ත්‍රීවීල් රථයෙන් පලාගොස් ඇත.

මේ වන විට ත්‍රීවීල් අයිතිකරු හා ඉඩම හිමි කාන්තාව මෙම සිද්ධිය ගැන කිසිදු දැනුම්වත්කමක් නොමැති අතර, ත්‍රීවීල් රථයේ අයිතිකරු මාතලේ පොලිසියට ද පැමිණිලි කර ඇත.

මාතලේ පොලිසියේ අපාරාධ අංශයට සොරකම් ගැන භාර වීමෙන් පසු සිද්ධිය ගැන විමර්ශනය කර සී.සී.ටී.වී. පරීක්ෂාව අනුව උකුවෙල වත්තේගම කටුගස්තොට කුරුණෑගල දෙසට ගමන් කර අතරමඟදී ඔහු විසින්ම ත්‍රීවීල් රථයේ සියලු ලේඛන සතුව ඇති නිසා විවෘත ලිපියක් ලියා රුපියල් සියයක මුද්දරයක් මත ඔහුම හොර අත්සන් යොදා ත්‍රීවීල් රථය ගිරිඋල්ල ප්‍රදේශයේදී රුපියල් නවලක්ෂ පනස්දහසකට විකුණා ඇති බව හෙළි වී ඇත.

මෙලෙස පොලිස් කණ්ඩායම නැවත තොරතුරු රැස්කරගෙන සැකකරුගේ හැඳුනුම්පත් ලිපිනයන් ඔස්සේ යමින් සැකකරු හබරකඩ වත්තක ගේට්ටුවට ඉබි යතුරු දමා වසා තිබූ නි‍ෙවසක බිරියත් සමඟ සැඟව සිටියදී අල්ලා ගැනීමට අපරාධ අංශයේ පොලිස් කණ්ඩායමට හැකි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT