Home » ජෙරොම්ගේ ගිණුම් 9ක් හරහා කෝටි 1200ක් එහෙට මෙහෙට ගිහින්

ජෙරොම්ගේ ගිණුම් 9ක් හරහා කෝටි 1200ක් එහෙට මෙහෙට ගිහින්

CIDය අධිකරණයට දන්වයි

by mahesh
July 19, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක, ගයාන් කුමාර වීරසිංහ

බුදු දහම ඇතුළු ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශ සිදු කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන කටයුතු කරන ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් පාස්ටර් ජෙරොම් යන අයගේ පුද්ගලික ගිණුම්, ඔහුට අයත් පුද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, ඔහුගේ යාඥා සිදු කරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිය වන මෙලනි ඩයන් වැන්කියුලස්බර්ග් යන අයට අයත් රජයේ සහ පුද්ගලික බැංකු 9 ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

මහේස්ත්‍රාත්වරයා මෙලෙස අවසර ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම ගිණුම් ඔස්සේ රුපියල් කෝටි 1200ක හෝ ඒ ආසන්න මුදලක් හුවමාරු වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කළ විමර්ශනවලින් පෙනී ගිය බැවින් එම ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිට ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. අධිකරණ නියෝගයෙන් කෙරන විමර්ශනවලින් ඒ බව නිශ්චිතවම තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ඉදිරි නඩු දිනයේදී මෙම බැංකු ගිණුම්වලින් හුවමරු වී ඇති මුදල් ප්‍රමාණය නිශ්චිත ලෙස අධිකරණයට දැනුම් දීමට හැකිවනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

රාජ්‍ය බැංකු 03කත්, දේශීය පුද්ගලික බැංකු 05කත් විදේශීය බැංකුවක මෙරට ශාඛාවකත් ඇති ගිණුම් මෙසේ පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසරය ලැබී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අමතරව නීති විරෝධී වත්කම් විර්ශන කොට්ඨාසය ද පාස්ටර් ජෙරොම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතී.

පාස්ටර් ජෙරොම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කරමින් ඔහුට විදෙස් ගමන් තහනමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ලබා ගන්නේ පසුගිය මැයි 15 වැනිදාය. එම නියෝගය ලබා ගැනීමට පෙර දින පාස්ටර් ජෙරොම් සිය බිරිය සහ දරුවන් සමඟ සිංගප්පූරුව බලා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගොස් තිබිණි. ඔහුගේ බිරියත් දරුවනුත් මේ වන විට මෙරටට පැමිණ සිටියත් පාස්ටර් ජෙරොම් මෙතෙක් මෙරටට පැමිණ නැත. ඔහු මේ වන විට එංගලන්තයේ රැඳී සිටින බවට තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

පාස්ටර් ජෙරොම්ගේ ආගමික නිකාය මේ වන විට ලෝකයේ රටවල් 12ක ව්‍යාප්තව පවතින බවත් එම රටවල මෙහි ශාඛා ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙරටින් බැහැරව සිටියත් පාස්ටර් ජෙරොම් විසින් මාර්ගගත ක්‍රමයට සිය අනුගාමිකයන්ට ආශීර්වාද දේව මෙහෙයන් පවත්වමින් සිටින බවට ද තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT