Home » උතුරු-නැඟෙනහිර ගැටලුවට හොඳම විසඳුම මගෙන්

උතුරු-නැඟෙනහිර ගැටලුවට හොඳම විසඳුම මගෙන්

ජනපති ද්‍රවිඩ පක්ෂ නායකයන්ට කියයි

by mahesh
July 19, 2023 1:05 am 0 comment

ශිරෝමි අබයසිංහ

* සියලු පක්ෂ කැමැති නම් 13 පූර්ණව බලාත්මක කළ හැකියි
* පොලිස් බලතල දෙන්න මැතිසබේ 2/3ක් අවශ්‍යයි
* උතුරු – නැඟෙනහිර ඒකාබද්ධ කරන්නේ නෑ
* ප්‍රතිසන්ධාන කාර්යාල කෙටුම්පත නීතිපතිට

උතුරු හා නැඟෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති අතර එය ඉදිරියට ගෙන යනවා ද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ උතුරු හා නැඟෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඊයේ (18) පැවති සාකච්ඡාවේදීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මීට පෙර කැමැත්ත පළ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ තමා රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බවයි.

තමාට අවශ්‍ය උතුරු නැඟෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

තමා උතුරු හා නැඟෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදු කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ඊට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

බලය බෙදීමේ මූලික කටයුතු අවසන් වූ පසු පළාත් සභාවල කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පනත් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ප්‍රාදේශීය ලේකම්වරු පත් කිරීම, අධ්‍යාපන, වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන, කෘෂිකර්ම නවෝත්පාදන හා කර්මාන්ත, සංචාරක ආදි ක්ෂේත්‍ර කිහිපයකට අදාළ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට බලය ලබාදීමේදී ඇතැම් විෂයන් සම්බන්ධව තීරණ ගැනීමේ බලය මධ්‍යම රජයට පැවරෙන අතර එම විෂයන් නෛතිකව ප්‍රකාශයට පත් කළ යුතු බව ද මෙහිදී සඳහන් කෙරිණි.

ජාතික සමඟිය සහ ප්‍රතිසන්ධාන කාර්යාලය සඳහා වන කෙටුම්පතක් එහි ව්‍යවස්ථානුකූලභාවය විමසා බැලීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජාතික සමඟිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය (ONUR) විසින් කෙටුම්පත් කරන ලද සංහිඳියාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මද ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමත් සමඟ සත්‍ය සෙවීමේ යන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණු බවත් පාර්ශ්වකරුවන්ගේ අදහස් ඇතුළත් කර මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය ප්‍රධාන කාර්ය මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර ඊට අදාළ නීති පැනවීමෙන් පසු විධිමත් යන්ත්‍රණය ආරම්භ වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

උතුරු සහ නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ද්‍රවිඩ පක්ෂ නායකයන් කරුණු මතු කළ අතර ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ කිසිදු අයුරකින් උතුරු හා නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නැති බවයි.

උතුරු නැඟෙනහිර යුක්තිය පසිඳලීමේ කාර්යයේදී විදේශීය විනිසුරුවරුන්ගේ මැදිහත් වීමක් සිදු කිරීමට රජයේ කිසිදු සූදානමක් නැති බවත් අවශ්‍ය නම් පමණක් දකුණු හා නැඟෙනහිර ආසියනු රටවල පවතින ක්‍රමවේද අනුව විදේශීය නිරීක්ෂකයන්ගේ වාර්තා පමණක් ලබා ගැනීමේ හැකියාව ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත සහ අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට ලැබී ඇති පැමිණිලි 21,374කින් පැමිණිලි 3,462ක විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ඉතිරි පැමිණිලි සම්බන්ධ විමර්ශන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ද මෙහිදී අනාවරණය කෙරිණි.

අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට ලැබී ඇති පැමිණිලි අතුරුදන් වූවන් පිළිබඳ සමස්ත තොරතුරු නොවන බව මෙහිදී ද්‍රවිඩ මන්ත්‍රීවරු සඳහන් කළ අතර, ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙසත් ඒවා සත්‍ය සෙවීමේ යන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය වෙත යොමු කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.

දූෂණ විරෝධී නීතිය ජූලි 19 වැනිදා පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා සංශෝධනවලට ලක් කෙරෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජිත සංශෝධන ද සලකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

උතුරු හා නැඟෙනහිර පළාත් සංවර්ධනය සඳහා රජය දැනට ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

උතුරු නැඟෙනහිර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ලෙස හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනයට ආයෝජන අවස්ථා කැඳවීමටත් හරිත හයිඩ්‍රජන් මඟින් කොළඹ වරාය නගරයේ ආකර්ෂණය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය පිළිබඳවත් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය.

එසේම “උතුරට ජලය” ව්‍යාපෘතිය යටතේ පූනරීන් වැව සංවර්ධනය කිරීම, යාපනයට නැවුම් ජලය සැපයීමේ ගංගා ව්‍යාපෘතිය, ඉරණමඩු ජලාශයේ ධාරිතාව ඉහළ නැංවීම, කුඩා වැව් ප්‍රතිසංස්කරණය, කන්කසන්තුරේ වරාය සහ වවුනියා හා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, උතුරු පළාත සහ දකුණු ඉන්දියාව යා කරන බෝට්ටු සේවාව, කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් ආයෝජන ප්‍රවර්ධන කලාප පිළිබඳව ද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය.

උතුරු පළාත තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා යාපනයේ සහ මන්නාරම සංචාරක ආකර්ෂණිය ස්ථාන සංවර්ධනය, මන්නාරම කොටුව සහ දූපත් කන්කසන්තුරේ වරාය සහ වඩමාරච්චි ආශ්‍රිතව සංචාරක බෝට්ටු සවාරි ව්‍යාපෘතිය, වන්නි දිස්ත්‍රික්කයේ පොල් වගාව ප්‍රවර්ධනය කිරීම, විශ්වවිද්‍යාල නගරයක් ලෙස යාපනය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති පිළිබඳව ද ජනාධිපතිවරයා විසින් උතුරු සහ නැඟෙනහිර ද්‍රවිඩ මන්ත්‍රීවරු දැනුවත් කරනු ලැබීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, එස්. වියාලේන්ද්‍රන්, එස්. චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, සී.වී. විග්නේශ්වරන්, අංගජන් රාමනාදන්, සෙල්වම් අඩෛකලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, එස්. ශ්‍රීධරන්, ඩී. සිද්ධාර්ථන්, ශානක්‍ය රාසමානික්කම්, තවරාසා කලෛයිඅරසන්, කේ. දිලීපන්, ජී. කරුණාකරන් යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ මන්ත්‍රීවරු සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT