Home » කළුබෝවිලදී අබිරහස් ලෙස මිය ගිය පුද්ගලයා සමඟ විසූ කාන්තාව මියයයි

කළුබෝවිලදී අබිරහස් ලෙස මිය ගිය පුද්ගලයා සමඟ විසූ කාන්තාව මියයයි

by mahesh
July 19, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ, නුගේගොඩ සමූහ - සමීර අබේසිංහ

තෙමහල් නි‍ෙවසක උඩුමහලේ කාමරයක තාවකාලිකව පදිංචිව සිටි පිරිමි පුද්ගලයා අබිරහස් ලෙස මිය යාමෙන් අනතුරුව ඔහු සමඟ එම කාමරයේ ගතකළ කාන්තාවගේ සිරුර එම කාමරේම බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව කොහුවල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුණේ කළුබෝවිල රෝහල පාර තාවකාලිකව පදිංචිව සිටි හම්සර් කුමාර් (26) නම් එක් දරු පියකු හා බාලසුබ්‍රමනියම් යෝගේස්වරි නමැති ( 37) දෙදරු මවකි.

මීට දින කිහිපයකට පමණ ඉහතදී (එනම් 13 වෙනි දින) මොවුන් දෙදෙනා එම කාමරයේ පදිංචියට පැමිණ ඇති අතර, කාන්තාව මෙහෙකාරියක ලෙසත් පිරිමි පුද්ගලයා කුලී වැඩ කරන්නකු ලෙසත් නිවෙස් හිමියාට හඳුන්වා දී තිබූ බව පොලිසිය සඳහන් කරයි.

කාමරේ පදිංචියට පැමිණ දින 2ට පසු මියගිය පිරිමි පුද්ගලයා ඔහු රැකියාව කළ ස්ථානයට වැටුප් ලබා ගැනීමට යන බව කාන්තාවට පවසා උදෑසන පිටව ගොස් එදිනම දහවල් දොළහට පමණ කාමරයට පැමිණ ඇඳේ හාන්සි වී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහිදී කාන්තාව ද ඇඳ වෙත ගොස් සල්ලි ගත්තේ නැද්දැයි විමසීමේදී හිස වනා නැහැ යනුවෙන් පවසා තිබූ බව කාන්තාව 15 වෙනි දින පොලිසියට ලබාදුන් ප්‍රකාශවල සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.

මඳ වේලාවක දී එම පුද්ගලයාගේ නහයෙන් ලේ ගලා එන දුටු කාන්තාව මේ බව නි‍ෙවසේ හිමිකරුට පැවසීමෙන් ඔහුගේ දැනුම් දීම මත 1990 සුව සැරිය ගිලන් රථයෙන් පැමිණ තිබූ සෞඛ්‍ය සහායකයන් එම පුද්ගලයා පරීක්ෂා කර බලා ඔහු මියගොස් ඇති බවට දැනුම් දීමෙන් අනතුරුව ඒ බව පොලිසියට දැනුම් දුන් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කිරීමට කටයුතු යෙදිණි.

එකී පුද්ගලයාගේ දේහය ඔහුගේ නීත්‍යනුකූල බිරියට භාර දීමට අවශ්‍ය හෙයින් නානුඔය ප්‍රදේශයේ ඥාතීන්ට ඒ බව දැනුම් දීමට කටයුතු කළ අතර, ඔවුන්ට 16 වැනි දින රෝහල කරා පැමිණීමට නොහැකි වී ඇති අතර, මියගිය කාන්තාව රෝහලේ සිට 16 වෙනි දින දහවල් 1ට විතර නවාතැන් ගෙන සිටි කාමරය වෙත පැමිණ තිබූ බව නිවෙස් හිමියාගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

එදින රාත්‍රී 8 පමණ වනතුරු කාමරයේ විදුලිය දල්වා නොතිබූ බැවින් නිවෙස් හිමියා උඩුමහලට ගොස් ජනේලයකින් කාමරය දෙස බැලීමේදී කාන්තාවගේ සිරුර බාල්කයේ එල්ලෙමින් ඇඳ මත දණ ගසාගෙන සිටින අයුරින් දැක ඒ බව පොලිසියට දැනුම් දුන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

පොලිස් නිලධාරීන් එම ස්ථානය වෙත පැමිණ සිදු කළ මූලික පරීක්ෂණවලදි කාන්තාවගේ සිරුර සළුපොටකින් බාල්කයේ එල්ලෙමින් තිබෙනු දැක තිබූ බව පොලිසිය කියයි.

අබිරහස් ලෙස මියගිය පුද්ගලයාගේ මරණයට විවෘත තීන්දුවක් ලැබුණු බැවින් ඔහුගේ මරණය ඔහු වැටුප් ලබා ගැනීමට ගිය රැකියා ස්ථානයේ ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් සිදු වූවක්ද? එසේත් නොමැති නම් ඔහු සමඟ ගතකළ කාන්තාව සමඟ ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් වූ දෙයක්ද? යන්න පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරී එම්.ඩී.ඩී. නිලන්ග අතුරු ගේ උපදෙස් මත කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. ඩී. චන්ද්‍රසේන පොලිස් සැරයන් 52360 ජයතිලක 71426 ප්‍රභාත් යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT