රාජ්‍ය ආයතන නිලධාරිනියකට ජනපති අතින් සම්මානයක්
රාජ්‍ය ආයතන නිලධාරිනියකට ජනපති අතින් සම්මානයක්
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති බවත්, ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරන එහි සභාපති රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ප්‍රමුඛ සියලුදෙනාට තම කෘතඥතාව පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019, 2020 වර්ෂවල ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65කට රන් සහ රිදී සම්මාන පිරිනැමීම වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18) පෙරවරුවේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම, මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සකස් කර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක ජාලගත ක්‍රමය මඟින් වාර්ෂිකව ඇගයෙන අතර ඒ අනුව විගණකාධිපතිවරයා විසින් විශ්ලේෂණය හා විමර්ශනය කොට, සිදු කළ ඇගයීම අනුව ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන මෙලෙස සම්මානයට පාත්‍ර විය.
ඒ අනුව රාජ්‍ය ආයතන 833ක් ඇගයීමට ලක් වූ අතර 2019 වර්ෂයේදී ඉන් තෝරාගත් ආයතන 15ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මානද, 2020 වර්ෂයේදී තෝරාගත් ආයතන 15ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන වශයෙන් සමස්ත සම්මාන 90ක් පිරිනැමීම සිදු විය. රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මේ සම්මාන පිරිනැමිණි. මේ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සූම් තාක්ෂණය ඔස්සේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා යටතේ පවතින ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන 1000කට අධික ප්‍රමාණයක් සම්බන්ධ විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මූල්‍ය කටයුතු සම්බන්ධව වැඩිම කමිටු ප්‍රමාණයක් පත් කර ඇති ලොව එකම පාර්ලිමේන්තුව වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට රට තුළ මූල්‍ය විනයක් ඇති කිරීම වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් පැවරෙන බවත්, ඒ බලය නිසි ලෙස භාවිත නොකිරීම රටේ වත්මන් මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවක් වූ බවත් පෙන්වා දුන්නේය. හරිත ආර්ථිකයක්, ඩිජිටල්කරණය සහ නව්‍යකරණය සමඟ ආර්ථිකය ඉදිරියට ගෙන යෑම පැරණි ක්‍රමවේද අනුව සිදු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී සියලු රාජ්‍ය ආයතන එක අරමුණක් සහ එක් සැලැස්මක් ඔස්සේ එකම ඒකකයක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය. රාජ්‍ය වියදම් පාලනය, සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගැනීම, ආදායම් ඉහළ නංවාගැනීම සහ රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරගැනීම යන මූල්‍ය වැඩපිළිවෙළ ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් පරිපාලන යන්ත්‍රණයක් රටට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා ජයග්‍රහණ හිමි කරගත් සියලු රාජ්‍ය ආයතනවලට සුබපැතුම් එක් කළ අතර, 2015 වසරට වඩා අද වන විට රාජ්‍ය ආයතනවල 98%කට වැඩි ප්‍රමාණයක විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බව ප්‍රකාශ කළේය. එසේම ජනතාවගේ මුදල් පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීම වැදගත් බවත්, 2048දී සංවර්ධිත රටක් ගොඩනැඟීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම සාක්ෂාත් කරගැනීමට සියලු දෙනාගේ සක්‍රීය දායකත්වය අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදහස දක්වමින්, රාජ්‍ය මුදල් පාලනය කිරීමේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ම පාර්ලිමේන්තුවට පැවරී තිබෙනබවත්, ඒ කටයුත්ත නිසි ලෙස ඉටු කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා ප්‍රමුඛ පිරිස ඉටු කරන කාර්යභාරය අගය කළ යුතු බවත් කීය.
අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අගමැති ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිර්වර්ධන, විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි අනූෂා රෝහණදීර, පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ අධ්‍යක්ෂ මහේෂ් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.