* පොලිසිය උඩ නැඟ සැකකරු බස්සගෙන
* මීට පෙරත් කණුවලට ගස්වලට නැඟලා
බීමතින් රිය පැදවීමේ වරදකට උසාවියෙන් දඩ නියම වූ පුද්ගලයකු එම දඩය ගෙවා දැමීම ප්‍රතික්ෂේප කරමින් කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහලය මතට නැඟී ඊයේ (18) විරෝධතාවක නිරත වෙමින් සිටියදී පොලිසිය මඟින් දැඩි ආයාසයක් දරා බිමට බස්සවාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
මැල්සිරිපුර පොලිස් ස්ථානය මඟින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීත්‍යනුකූල බලපත්‍ර කිසිවක් නැතිව බීමතින් රිය පැදවීමේ චෝදනාව යටතේය.
අදාළ චෝදනාවට අධිකරණය මඟින් වරදකරු කරනු ලැබීමෙන් පසුව ඔහුට රුපියල් 56,000ක දඩයක් නියම කර ඇත්තේ චුදිත අධිකරණය හමුවට ඉදිරිපත්ව නොසිටි වාතාවරණයක් යටතේය.
සැකකරු මැල්සිරිපුර මිල්ලවාන වත්ත ප්‍රදේශයේ පදිංචි බී.එම්. තිස්ස බණ්ඩාරනායක නමැති 39 හැවිරිදි අවිවාහක පුද්ගලයකු බව පොලිසිය කියයි.
ඔහු ඊයේ අධිකරණය හමුවට පැමිණ ඇත්තේ ඔහුට විරුද්ධව ඇති නීති විරෝධී මත්පැන් අලෙවි කිරීමේ චෝදනාවක් යටතේ පවරා තිබූ නඩුවකට ඉදිරිපත් වීම සඳහාය. එහිදී අධිකරණයේ නඩු කටයුතු ආරම්භ වීමට පෙර සැකකරු අධිකරණයේ වහලය මතට නැඟී සිය විරෝධතාව ආරම්භ කොට තිබේ.
වෘත්තියෙන් පොල් ගස් නඟින අයකු වන ඔහු මීට පෙර චෝදනා ගණනාවක් ලද අයෙකි. ඔහු මීට පෙර දඹුල්ල ප්‍රදේශයේ ටෙලිකොම් කනුවකටත් ගොකරුල්ල පොලිසිය ඉදිරිපිට බෝ ගසට නැඟීමත් ඒ චෝදනා අතර ඔහුට එරෙහිව ඇති තවත් චෝදනා වන බව තොරතුරු වාර්තා වේ. මොහු කාලයෙන් කාලයට විවිධ ගැටලු මතු කරමින් කීපවතාවක් විරෝධතා කළ පුද්ගලයකු බව වාරතා වේ.
උසාවිය ඉදිරිපිට මිනීමස් උයාගෙන කනවා යැයි ගමේ අය සමඟ කියා ඊයේ කුරුණෑගලට පැමිණ මෙසේ වහලයට නැඟ ඇති බවට ද තොරතුරු වාර්තා වේ. පෙරවරු 9.30 ට වහලයට නැඟී මෙම පුද්ගලයා කීපවතාවක්ම කිසියම් දෙයක් (මත්වතුර වැනි යම් දෙයක්) පානය කරමින් පරුෂ වචන කියමින් වහලයෙහි උළු ගලවමින් සිටියදී පොලිසිය දැඩි ආයාසයකින් දොඹකරයක නංවාගෙන ඔහු වහලයෙන් බිමට ගෙන පොලිස් භාරයට ගෙන ඇත. මොහුගේ මෙම ක්‍රියාව නිසා ඊයේ දිනයේ අධිකරණ කටයුතුවලට දැඩි බාධා සිදු වී තිබේ.
මොහු පැය දෙකකට ආසන්න කාලයක් වහලය මත රැඳී සිටි අතර පසුව පොලිස් නිලධාරීන් කීපදෙනකු වහලට නැඟ ඔහු මෙල්ල කර ගිනි නිවීම් අංශයේ නිලධාරීන්ගේ ද සහායෙන් ඔහු පහළට ගෙන ඇත. ඔහු ඒ වන විටත් අධිකරණ සංකීර්ණයේ වහල මත තිබූ උළු රැසක් ද ගලවා තිබූ බව පොලිසිය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිසියේ නිලධාරියකු සඳහන් කළේ රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් වැරැදිකරු වීම හේතුවෙන් මෙම පුද්ගලයාට අධිකරණය මඟින් මීට පෙර දඩ මුදලක් නියම කර ඇති බවය. ඊට අමතරව නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් ද මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණයෙහි විභාග වන නඩුවකට පෙනී සිටිය යුතු අවස්ථාවක මොහු පොලිසියට අසත්‍ය චෝදනා එල්ල කරමින් මේ ආකාරයට හැසිරෙන බව ද එම නිලධාරියා සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.