චීනයේ ගිනිකොන පළාතට බලපෑ ටලිම් සුළි කුණාටුවෙන් පුද්ගලයන් දෙලක්ෂ තිස්දහසක් අවතැන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට දින කිහිපයකට පෙර බොහෝ ප්‍රාන්තවලට බලපෑ සෙල්සියස් අංශක 50කට වැඩි උෂ්ණත්වය හේතුවෙන් දැඩි පීඩාවට පත් චීනයට අනපේක්ෂිත සුළි කුණාටුවෙන් එකම අවස්ථාවක කාලගුණ විපර්යාස දෙකකට මුහුණ දීමට සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ටලිම් සුළි කුණාටුව හේතුවෙන් ගිනිකොන පළාතේ ගුවාංඩොං ප්‍රාන්තයේ ගුවන් ගමන්වලට දැඩි බාධා එල්ල වී ඇති අතර, ගුවන් ගමන් සහ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට ද සිදු වී තිබේ. මුහුදුබඩ නගර රැසකට හානි සිදු වී ඇතැයි වාර්තා වේ. පසුගිය සඳුදා රාත්‍රියේ පැයට කිලෝමීටර් 140ක වේගයෙන් හමා ගිය ටලිම් සුළි කුණාටුව අසල්වාසී ගුවාංෂි පළාතට ද හානි සිදු කර ඇති අතර, ධාවනය වෙමින් තිබූ මෝටර් රථ මතට ගස් කඩා වැටීමෙන් අනතුරු රැසක් සිදුවී ඇතැයි ද වාර්තා වේ. සුළි කුණාටුවත් සමඟ ඇද වැටුණු ධාරානිපාත වර්ෂාවෙන් මහා මාර්ග රැසක් ද ජලයෙන් යටවී ඇත.
අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මුහුදු ගිය ධීවර යාත්‍රා 2,700කට වැඩි ප්‍රමාණයක් නැවත ගෙන්වා ගැනීමට ද බලධාරින් කටයුතු කර ඇතැයි එරට ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේය. ඊයේ වන විට ටලිම් සුළි කුණාටුව චීනයෙන් වියට්නාමය දෙසට හමා යමින් තිබූ බව ද වාර්තා වේ.