Home » INSEE Cement සහ ආරක්ෂක අමාත්‍යාංශය එක් වී රණවිරු පවුල්වලට සහනදායී මිලට සිමෙන්ති පිරිනමයි

INSEE Cement සහ ආරක්ෂක අමාත්‍යාංශය එක් වී රණවිරු පවුල්වලට සහනදායී මිලට සිමෙන්ති පිරිනමයි

by mahesh
July 19, 2023 12:55 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE Cement, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින රණවිරු සේවා අධිකාරිය සමඟ විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය. මෙම ගිවිසුම යටතේ යුද්ධයේදී ආබාධිත වූ හෝ මරණයට පත් වූ රණවිරුවන්ගේ පවුල්වලට සහනදායී මිල ගණන් යටතේ සිමෙන්ති කොට්ට මිලදී ගැනීමට අවස්ථාව හිමි වේ.

ත්‍රිවිධ හමුදාවන්හි සාමාජික සාමාජිකාවන් රට වෙනුවෙන් ඉටුකළ හා ඉටුකරන මෙහෙවරට උපහාරයක් වශයෙන් ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහනදායී මිල ගණන් යටතේ සිමෙන්ති මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා INSEE Cement සමාගම මෙම වසර ආරම්භයේදී පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, රණවිරු සේවා අධිකාරිය සමඟ ඇතිකරගත් මෙම ගිවිසුම එහි එක් පියවරකි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) නන්දන සේනාධීර මහතා සහ INSEE Cement Sri Lanka සමාගමේ සභාපති නන්දන ඒකනායක මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදි. INSEE Cement සමාගමේ නාලිකා සංවර්ධන සහ බාහිර කටයුතු ප්‍රධානී චන්දන නානායක්කාර සහ අලෙවිකරණ ප්‍රධානී ගයනි පෙරේරා මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූහ.

“රණවිරුවන් රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර වෙනුවෙන් අප ඔවුන්ට හදවතින්ම ස්තූතිවන්ත වනවා. මේ සහන මිලට සිමෙන්ති ලබාදීමේ වැඩසටහන, මෙම පවුල්වලට වැදගත් වන ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කිරීමටත්, ඔවුන්ගේ ජීවිත යළි ගොඩනඟා ගැනීමටත්, ඒ ඔස්සේ ප්‍රජාවන්ගේ යහපතට දායක වීමටත් ඔවුන්ට උපකාරී වනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. මෙය සමාජයේ යහපත වෙනුවෙන් INSEE Cement දක්වන උනන්දුව හා කැපවීම නිරූපණය කරන තවත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. අත්වැලක් අවශ්‍ය පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අප සෑමවිටම උත්සාහ කරනවා.” INSEE Cement Sri Lanka සමාගමේ සභාපති නන්දන ඒකනායක මහතා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT