by yasara
July 14, 2023 3:28 pm 0 comment

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය ආරක්ෂාව සහ නිරුපද්‍රිතතාව අතින් 92% ක් තරම් ඉහළ මට්ටමකින් (Secure and Safe ) පවත්වා ගෙන යනු ලබන බව 2023 වසරේ ජූනි මස ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානය ( I C A O ) විසින් සිදු කර ඇති විගනනයකින් අනාවරණය වී ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවති ” ශ්‍රී ලංකා ගුවන් සේවා දිනය – 2023 ” වෙනුවෙන් අද (14 ) උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය .

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ඉතා දියුණු ගුවන් සේවා කර්මාන්තයක් පවත්වා ගෙන යාමට ඉවහල් වී ඇති බවත් එමගින් සංචාරක කර්මාන්තය මෙන්ම සංක්‍රමණ ගුවන් මගීන් යුරෝපයට , නැගෙනහිර ආසියාවට ,මැදපෙරදිගට , අප්‍රිකාවට සහ ඇමෙරිකාවට මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන ගුවන් සේවා මධ්‍යස්ථානයක් ( Aviation Hub ) ලෙස භාවිතා කළ හැකි බවද පැවසීය .

ලෝක කොරෝනා වසංගත තත්වය නිසා ඇති වූ පසුබෑම නිසා ඇංජින් හදා ගැනීමට නොහැකිව , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 05 ක් දැනට කටුනායක ගුවන් තොටුපොළ තුළ ගාල් කර ඇති බව ද පැවසීය .

එසේම ගුවන් යානා ඉන්ධන අලෙවිය පිළිබඳව ඇති ඒකාධිකාරය අහෝසි කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව පෞද්ගලික අංශයට ද අවස්ථාව ලබා දී ඇති බවත් ,ඒ අනුව කොළඹ වරායේ සහ රත්මලාන ගුවන් තොටුපොළේ ලීටර් 24,000 බැගින් ඉන්ධන ගබඩා කළ හැකි තෙල් ටැංකි සමූහයක් ඉදි කිරීම දැනටමත් අරභා ඇති බව ද පැවසීය .

එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිමා වූ පසුව , ජපානයේ ජයිකා ආයතනය ලබා දී ඇති ණය මුදල් සක්‍රීය කිරීම ආරම්භ කරන බවත් , ඒ මගින් කටුනායක ගුවන් තොටුපොළ දෙවන අදියරේ වැඩ කටයුතු ආරම්භ කරන බවත් පැවසීය .

මීට සමගාමීව ” සුහුරු ගුවන් තොටුපොළක් ” ( Smart Air Port ) යන මැයෙන් විද්වත් කතිකාවක් ද පැවැත්වුනි .

මෙම ” ශ්‍රී ලංකා ගෙන සේවා දින ” වැඩසටහන ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය සමග ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සංවිධානය කර තිබුණි .

මෙම අවස්ථාවට ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ කළාපීය උප සභාපති පිලිප් ගෝ ( Philip Goh ) ,ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය හා සම්බන්ධ දේශීය සහ විදේශීය නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT