සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනකු ඇතුළත්ව සිටින අතර, ඊට තවමත් ටෙස්ට් වරම් දිනා නැති වේග පන්දු යවන 22 හැවිරිදි ඩිල්ෂාන් මධුෂංක සහ ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගෙන නැති 23 හැවිරිදි ලක්ෂිත මනසිංහ එක් කර තිබීම විශේෂත්වයකි.
ඩිල්ෂාන් මුලින් නම් කළ සංචිතයට ඇතුළත්ව නොසිටි අතර, ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු නම් කර තිබිණි. එහෙත් අසිතට ඩෙංගු රෝගය වැලඳීම නිසා ඔහු වෙනුවට ඩිල්ෂාන් ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සහ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම යළි සංචිතයට කැඳවා ඇත. ඒ සමඟ අවසන් වරට පැවති අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ සංචිතයට එක්ව සිටි දුෂාන් හේමන්ත, ලසිත් ඇඹුල්දෙණිය සහ මිලාන් රත්නායකට ස්ථාන අහිමි වී තිබේ.
මේ තරගාවලියෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය අරඹන අතර පළමු තරගය ඉරිදා (16) ගාල්ලේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (උපනායක), පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම (කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත, ඩිල්ෂාන් මධුෂංක, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂිත මනසිංහ.