Home » නදීෂා රාමනායක ලක්මව රනින් සරසයි

නදීෂා රාමනායක ලක්මව රනින් සරසයි

by mahesh
July 14, 2023 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

තායිලන්තයේදී පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කමක් දිනා දීමට නදීෂා රාමනායක ඊයේ (13) සමත් වූවාය.

තරගාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වට එක් වූ නදීෂා තත්පර 52.61කින් තරගය නිමා කරමින් රන් පදක්කම දිනාගත් අතර, ඇය මේ තරගයට එක් වූයේ මූලික වටයේදී තත්පර 53.06ක දක්ෂතාවක් සමඟිනි. නදීෂා ඊයේ වාර්තා කළේ මේ ඉසව්වේ ඇයගේ හොඳම දක්ෂතාව වීමද විශේෂත්වයකි.

ආසියානු ශූරතාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත්තේ වසර 23කට පසුව වීම කැපී පෙනේ. අවසන් වරට 2000 වසරේ ජාකර්තාහිදී දමයන්ති දර්ශා (51.05) විසින් තරගාවලියේ වාර්තාවක් ද සමඟ මේ ඉසව්වේ රන් පදක්කම දිනා ගෙන තිබිණි.

මේ පදක්කම දිනා ගැනීමත් සමඟ නදීෂා ආසියානු ශූරතාවලියේ කේවල රන් පදක්කමක් දිනාගත් 8 වැනි ශ්‍රී ලාංකිකයා බවට ද පත්වූ අතර, ආසියානු ශූරතාවලි ඉතිහාසයේ දිනාගත් 20 වැනි රන් පදක්කම විය.

එමෙන්ම කෙටි දුර ඉසව්වකින් ආසියානු මට්ටමේ තරගාවලියකදී ක්‍රීඩිකාවක් පදක්කමක් දිනා ගත්තේ වසර 2007න් පසුව වීම ද කැපී පෙනෙයි. නදීෂාගේ පුහුණුකරු ලෙස මුද්දික තුෂාර මහතා කටයුතු කරයි.

මේ අතර ඊයේ පිරිමි මීටර් 400 ඉසව්වට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනාටම පදක්කම් බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදු විය. ක්‍රීඩකයන් 8ක් එක් වූ එම ඉසව්වේ අවසන් තරගයේදී අරුණ දර්ශන තත්පර 45.69ක කාලයක් වාර්තා කරමින් 7 වැනි ස්ථානයට පත් වූ අතර, රජිත රාජකරුණා තත්පර 46.60කින් අවසන් ස්ථානයට පත් විය.

බැංකොක් නුවරදී පැවැත්වෙන තරගාවලියේ තෙවැනි දිනය අදයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT