අවිශ්ක ප්‍රනාන්දුගේ විශිෂ්ට ශතකය සහ පන්දු යවන්නන්ගේ දස්කම් හේතුවෙන් නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ‘ඒ’ කාණ්ඩය යටතේ පැවති පළමු තරගයෙන් බංග්ලාදේශය පරදවා ලකුණු 48ක ජයක් හිමි කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා පිල සමත් විය.
කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ ඊයේ (13) පැවති තරගයේ බංග්ලාදේශ ‘ඒ’ පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 349ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර, එම ඉලක්කය හමුවේ බංග්ලාදේශයට ඕවර 48.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 301ක් පමණි.
බංග්ලාදේශ ඉනිමට වේගවත් ආරම්භයක් දුන් ටැන්සිඩ් හසන් පන්දු 39කින් ලකුණු 51ක් රැස් කළේ හතරේ පහර 11ක් සමඟිනි. කෙසේ වෙතත් මුළු ලකුණු 69ක් වෙද්දී පළමු කඩුල්ලේ සබඳතාව බිඳ දැමීමට සහන් ආරච්චිගේ සමත් වූ අතර, ලකුණු 74දී චාමික කරුණාරත්න හමුවේ ටැන්සිඩ් දැවී ගියේය.
අනතුරුව තෙවැනි කඩුල්ලට ලකුණු 74ක් එක් කිරීමට සකීර් හසන් (26) සහ සයිෆ් හසන් සමත් වූ අතර, නායක සයිෆ් පන්දු 46කින් ලකුණු 53ක් රැස් කළේය. ඉනිමේ 30 වැනි ඕවරයේදී දුෂාන් හේමන්ත පිට පිට පන්දු 2කින් කඩුලු 2ක් දවාගැනීමත් සමඟ බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 191ක් වූ අතර, 7 වැනි කඩුල්ලට එක් වූ මෙහෙදි හසන් සහ සෞම්‍ය සර්කාර් කණ්ඩායමට බලාපොරොත්තු ගෙන ආවේ ලකුණු 48ක සබඳතාවක් සමඟිනි. කෙසේ වෙතත් මුළු ලකුණු 249දී එම සබඳතාව බිඳ දැමූ ප්‍රමෝද් මදුශාන් ඉනිමේ 49 වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකින් අවසන් පිතිකරුවන් දෙදෙනා දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ජය හිමි විය. පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුශාන් සහ දුෂාන් හේමන්ත කඩුලු 3 බැගින් දවා ගත්හ.ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් අවිශ්ක ප්‍රනාන්දු මේ තරගාවලියේ පළමු ශතකලාභියා බවට පත් වූයේ ලකුණු 133ක් රැස් කරමිනි. මිනෝද් භානුක සමඟින් දෙවැනි කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැඟූ අවිශ්ක ඉන් පෙර සහ පසුව අර්ධ ශතක සබඳතා දෙකක් ද ඉනිමට එක් කළේය.
අවිශ්ක පළමු කඩුල්ලට ලසිත් කෘස්පුල්ලේ (31) සමඟ ලකුණු 51ක් එක් කිරීමෙන් අනතුරුව මිනෝද් සමඟින් ගොඩනැඟු දෙවැනි කඩුල්ලේ සබඳතාව නිමා වූයේ මුළු ලකුණු 176දීය. ලසිත් ලකුණු 31කට දැවී ගිය අතර, මිනෝද් පන්දු 55කින් ලකුණු 57ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟිනි.
තවත් ලකුණු 6ක් තුළ තෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි පසිඳු සූරියබණ්ඩාර, අවිශ්ක සමඟ එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 257 දක්වා ඉදිරියට ගෙන ගියේ ලකුණු 75ක සබඳතාවකිනි. පසිඳුගේ ඉනිම ලකුණු 43කට නිමා වෙද්දී අවිශ්ක ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 133ක් පන්දු 124කින් රැස් කර තිබූ අතර, හතරේ පහර 13කින් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් විය. අශේන් බණ්ඩාර ලකුණු 35ක් සහ නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 19කින් වේගවත් ලකුණු 31ක් රැස් කිරීමට සමත් වූහ. පන්දු යැවීමේදී සෞම්‍ය සර්කාර් සහ රිපන් මොන්ඩෝල් කඩුලු 3 බැගින් දවා ගත්හ. තරගයේ වීරයා ලෙස අවිශ්ක ප්‍රනාන්දු නම් කෙරිණි. ශ්‍රී ලංකා පිල සහභාගී වන දෙවැනි තරගය හෙට (15) ඇෆ්ගනිස්තාන ‘ඒ’ පිලට එරෙහිව සීසීසී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල – 349/8 (ඕවර 50) අවිශ්ක ප්‍රනාන්දු 133, මිනෝද් භානුක 57, පසිඳු සූරියබණ්ඩාර 43, අශේන් බණ්ඩාර 35, දුනිත් වෙල්ලාලගේ 31, ලසිත් කෲස්පුල්ලේ 31 (සෞම්‍ය සර්කාර් 52/3, රිපන් මොන්ඩෝල් 71/3)
බංග්ලාදේශ ‘ඒ’ පිල – 301 (ඕවර 48.3) සයිෆ් හසන් 53, ටැන්සිඩ් හසන් 51, සෞම්‍ය සර්කාර් 42, රකිබුල් හසන් 40, මෙහෙදි හසන් 31 (ප්‍රමෝද් මදුශාන් 50/3, දුෂාන් හේමන්ත 54/3)
ඇෆ්ගනිස්තානයට ජය
මේ අතර ‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියේ දෙවැනි තරගය ලෙස සීසීසී ක්‍රීඩාංගණයේදී ඕමාන ‘ඒ’ පිලට එරෙහිව පැවති තරගය ලකුණු 72කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමත් විය.