දහ හතර හැවිරිදි දැරියක සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇය රවටා කුරුණෑගල ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇයට ලිංගික අතවර කර ඇති බව කියන තිස් දෙහැවිරිදි සිවු දරු පියෙකු වන සැකකාර සංචාරක වෙළෙන්දෙකු මේ මස 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (13) පස්වරුවේ නියෝග කළේය.
අලව්ව මිලිහිරිය ප්‍රදේශයේ පදිංචි රුවන් ධම්මික (32) නමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි. සැකකරු මගී බස් රථවල වඩේ අලෙවි කිරීමේ සංචාරක වෙළෙන්දෙකු බවත් මොහු නිට්ටඹුව ප්‍රදේශයේ බෝඩිමක නැවතී සිටින බවත්, එම බෝඩිම ආසන්නයේ පිහිටා ඇති නිවසක පදිංචි දාහතර හැවිරිදි පාසල් දැරියක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇය රවටා කුරුණෑගල ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගොස් එහි නැවතී සිටිමින් ඇයට ලිංගික අතවර කර ඇති බව විවෘත අධිකරණයේදී අනාවරණය විය.
නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න මහත්මිය කරුණු දක්වමින් සැකකරු බස් රථවල වඩේ විකුණන සංචාරක වෙළෙන්දෙකු බවත්, මොහුට ගැහැනු දරුවන් දෙදෙනෙකු හා පිරිමි දරුවන් දෙදෙනෙකු සිටින බවත් බිරිය හා දරුවන් බැලුම්මහර, ගොඩගෙදර ප්‍රදේශයේ බිරියට අයිති නිෙවසක පදිංචි වී සිටින බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත් කියා සිටියේය.