Home » ව්‍යාජ මුහුණු පොත් සකසා තරුණයන් රවටා ඇපල් දුරකතන කොල්ල කාලා 

ව්‍යාජ මුහුණු පොත් සකසා තරුණයන් රවටා ඇපල් දුරකතන කොල්ල කාලා 

තරුණියක් හා තරුණයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

by mahesh
July 14, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ කොටදෙණියාව ඇම්. පී. කුමාර

ව්‍යාජ ලෙස මුහුණු පොත් සකස් කර දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණයින් සමඟ මිතුරුව එම පුද්ගලයින් මීරිගම ප්‍රදේශයට ගෙන්වා ඔවුන් සන්තකයේ තිබෙන රුපියල් ලක්ෂ ගණන් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකතන කොල්ලකා ගෙන ගොස් සිටි කොල්ලකාරියක් හා කොල්ලකරුවන් දෙදෙනෙකු ඊයේ (13) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය පවසයි.

මහනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා කොල්ලකාරිය හා කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

කොල්ලකාරිය ව්‍යාජ මුහුණු පොතක් සකස් කර ඒ ඔස්සේ මහනුවර ප්‍රදේශයේ තරුණයෙකු සමඟ මිතුරු වී දින කිහිපයක් ඔහු සමඟ පෙම් බස් දොඩා අවසානයේ ඔහු සමඟ දිනක් ගත කිරීමට කැමැති බවට යෝජනා කර මීරිගම ප්‍රදේශයේ හොඳ ස්ථානයක් තිබෙන බව පවසා එම පුද්ගලයා මීරිගම ප්‍රදේශයට ගෙන්වා ඔහු සන්තකයේ තිබූ වටිනා ජංගම දුරකතනයක් කොල්ලකා ගෙන ගොස් තිබූ බවද පොලිසිය පැවසීය.

කොල්ලකාරිය ගේ උපදෙස් පරිදි කොල්ලකරුවන් දෙදෙනා එම තරුණයා යතුරුපැදියක නංවා ගෙන පැමිණ අතරමගදී ඔහු සතුව තිබූ ජංගම දුරකතනය කොල්ලකා ගෙන ගොස් ඇති බවද වැඩිදුරටත් කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත.

කොල්ලකාරිය හා කොල්ලකරුවන් දෙදෙනා මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මේ සිද්ධියෙන් පසුව ඔවුන් පදිංචි නිවාස පරීක්ෂා කිරීමේදී මේ අයුරින් තරුණ පුද්ගලයින් මුළා කර මෙයට පෙර කොල්ලකා ගෙන ගොස් තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා ජංගම දුරකතන හතක් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගෙන් කොල්ලකන ලද ජංගම දුරකතනයක් ජා ඇළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට විකුණා තිබියදී සොයා ගත් බවද පොලිසිය පවසයි.

කොල්ලකාරිය ව්‍යාජ මුහුණු පොත් ගණනාවක්ම සකස් කර කොල්ලකෑම් සිදු කර ඇති බවද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

මොවුන් කොල්ලකෑම් සඳහා උපයෝගී කර ගෙන ඇති යතුරුපැදියක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

තවත් මෙවැනි කොල්ලකෑම් කර ඇති බවට සැකකෙරෙන හෙයින් පොලිසිය ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT