Home » විගණකාධිපති වාර්තා නිසි ලෙස අධිකරණයට ඉදිරිපත් කර නැහැ
රාජිතට එරෙහි අල්ලස් නඩුව

විගණකාධිපති වාර්තා නිසි ලෙස අධිකරණයට ඉදිරිපත් කර නැහැ

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මහාධිකරණය හමුවේ කියයි

by mahesh
July 14, 2023 12:54 am 0 comment

රෝෂන් තුෂාර

හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනාට එරෙහි අල්ලස් නඩුවේ සාක්කි ලේඛන ලෙස විගණකාධිපති වාර්තා නම් කර ඇතත්, එම වාර්තාව නිසි පරිදි අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (13) පැවසීය.

විගණකාධිපති වාර්තාවක් සාක්කි ලේඛනයක් ලෙස ඉදිරිපත් කර එහි පිටුවක් හෝ දෙකක් ගොනු කර නඩුව පවරා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විරුද්ධ වන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම පැවරූ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා එසේ පැවසීය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් නඩුවේ සාක්ෂි ලේඛන ලෙස 2014 හා 2016 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා ලකුණු කර ඇතත් එම ලේඛනවල පිටපත් තවම විත්තියට ලැබී නොමැති බවත්, අදාළ සාක්කි ලේඛන නොමැතිව නඩුව විභාගයට ගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බව නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.

නඩුවේ සාක්කි ලේඛන ලෙස නම් කරන ලද විගණකාධිපති වාර්තාවලට අදාළ සාක්කි ලේඛන පහක් මෙසේ ලබා දී නොමැති බව නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එම කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතිඥ අසිත ඇන්තනි මහතා කරුණු දක්වමින් කියා සිටියේ අදාළ විගණකාධිපති වාර්තාවල නඩුවේ චෝදනාවලට අදාළ පිටු කීපයක පිටපත් මේ වන විට විත්තියට ලබා දී ඇති බවය. පැමිණිල්ලට ඇත්තේ ද එම ලේඛන පමණක් බවත් වැඩි දුරටත් පැවසීය.

විගණකාධිපති –

වාර්තාවක පිටු එකකින් හෝ දෙකකින් නඩුවේ චෝදනා පවත්වාගෙන යෑමට පැමිණිල්ල අදහස් කරන්නේ නම් ඊට විරුද්ධ වන බව විත්තියේ නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසීය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සාක්කි ලේඛනයක් ලෙස නම් කළ විගණකාධිපති වාර්තා අවශ්‍ය අවස්ථාවන්හිදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කරමින් දන්වා සිටියේය.

පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.

ඒ අනුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ සාක්කි විභාගය නොවැම්බර් 22 වැනි දින ආරම්භ කරන බව දන්වා සිටියේය.

නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර ඇත.

2014 වසරේ අගෝස්තු මස පළමු වැනිදා සහ එම වසරේ නොවැම්බර් මස පළමු වැනිදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය සී. ගල්ෆ් යූ.කේ. ප්‍රයිවට් ලිමිටඩ් නමැති සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙලඹවීම තුළින් රජයට පාඩුවක් සිදු කළා යැයි චෝදනාකොට එවක ධීවර ඇමැති ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT