Home » දුම්රිය හරස් මාර්ගය වසා දමා තිබියදී ධාවනය කරවූ ත්‍රිරෝද රථය සහ පුද්ගලයා අත්අඩංගුවට ගන්න ගිය පොලිස් නිලධාරීන්ට පහර දීලා

දුම්රිය හරස් මාර්ගය වසා දමා තිබියදී ධාවනය කරවූ ත්‍රිරෝද රථය සහ පුද්ගලයා අත්අඩංගුවට ගන්න ගිය පොලිස් නිලධාරීන්ට පහර දීලා

by mahesh
July 14, 2023 12:56 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

කැලණිය දුම්රියපොළ අසල දුම්රිය හරස් මාර්ගය වසා දමා තිබියදී ඒ තුළින් රිංගා ගිය ත්‍රිරෝද රථයක් පෑලියගොඩ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පන්නා ගොස් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එහි සිටි බීමත් පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් නිලධාරීන්ට පහර දී කලහකාරී ලෙස හැසිරී තිබේ.

මෙම සිදුවීම වී ඇත්තේ පෙරේදා (12) සවස 6.00ට පමණය.

රථවාහන අංශයේ නිලධාරීන් මෙම අවස්ථාවේදී රැඳී සිට ඇත්තේ පට්ටිය හන්දිය අසල රාජකාරියේ නිරත වෙමිනි. වසා තිබුණු දුම්රිය ගේට්ටුව අස්සෙන් රිංගා පැමිණි ත්‍රිරෝද රථය දුටු පොලිස් නිලධාරීන් එම රථය නතර කරන ලෙස සංඥා කර කර ඇතත් එය පොලිස් අණ නොතකා ධාවනය කර තිබේ.

මෙහිදී රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් සිය යතුරුපැදිවල නැඟී පලා යමින් සිටි ත්‍රිරෝද රථය පස්සේ පන්නා ගොස් නුවර පාරේ 04 කණුව ආසන්නයේදී එය නතර කර ඇත. එවිට රියැදුරුත් එහි ගමන් කරමින් සිටි අයෙකුත් පොලිස් නිලධාරීන්ට අසභ්‍ය වචන කියමින් බැණ වදිමින් පහර දී ඇතැයි පොලිසිය කියයි. මත්පැන් පානය කර සිටි ඔවුන් දෙදෙනා කලහකාරී ලෙස හැසිරීමට පටන් ගැනීම හේතුවෙන් පොලිසියට සිදු වී ඇත්තේ මාර්ගයේ ගමන් කළ අයගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමටය.

මෙම පුද්ගලයින් දෙදෙනා කැලණිය පෙතියාගොඩ පදිංචිකරුවන් බවත් රියැදුරු අවුරුදු 23ක තරුණයෙක් බවත් අනෙක් පුද්ගලයා 33 හැවිරිදි අයෙක් බවත් පොලිසිය කියයි.

මෙම සැකකරුවන් දෙදෙනාව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT