රජයේ රැකියාවක් ලබා දෙන බවට පවසා කාන්තාවකගෙන් රුපියල් එක්ලක්ෂ අසූ දාහක් ලබාගත් මහනුවර පුද්ගලයකුට වසර පහකට අත්හිටුවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හා ලබාගත් අල්ලස් මුදල දඩයක් ලෙස රජයට ගෙවන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (13) නියෝග කළේය.
සැමුවෙල් සිවපාලන් නමැති පුද්ගලයාට මෙම දඬුවම සහ දඩය නියම කළ මහාධිකරණ විනිසුරුවරයා අදාළ චෝදනා තුනට රුපියල් 5000 බැගින් දඩයක් ද නියම කළේය.
චූදිත 2013 මැයි මාසයේදී මහනුවර කාන්තාවකගෙන් රුපියල් එක්ලක්ෂ අසූ දහසක මුදලක් ලබාගෙන ඇයට රජයේ මුද්‍රණාලයේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බව පවසමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධි චෝදනා තුනක් යටතේ මෙම නඩුව පවරා තිබිණි.
විත්තිකරු අදාළ චෝදනාවලට වැරදිකරු බව විවෘත අධිකරණයේ පිළිගැනීම හේතුවෙන් මෙම දඬුවම නියම කෙරිණි.