මිල කළ නොහැකි බව කියමින් වාලම්පුරියක් විකිණීමට උත්සාහ කළ 6 දෙනකු, මොන්ටේරෝ වර්ගයේ වෑන් රථයක් හා යතුරුපැදි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව ජාඇළ පොලිසිය පවසයි.
ජාඇළ පොලිස් බුද්ධි කොට්ඨාසයට හා පොලිස් විශේෂ කාර්යංශයට ලද තොරතුරක් අනුව මේ වැටලීම පෙරේදා (12) සිදු කර තිබේ. මිල කළ නොහැකි වාලම්පුරියක් රුපියල් කෝටි 6යි ලක්ෂ 60කට විකිණීමට පිරිසක් කටයුතු කරමින් සිටින බවට ලද තොරතුරක් අනුව ජාඇළ පොලිස් ස්ථානයේ නිලධාරීන් උපාය දූතයකු යොදවා මේ වාලම්පුරිය ගැනීමට සූදානම් බව එය විකිණීමට සූදානම් වූ මරදාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයාට පවසා ඇත. ඒ අනුව එම පිරිස වාලම්පුරියද රැගෙන මොන්ටේරෝ වර්ගයේ වෑන් රථයකින් ජාඇළ ප්‍රදේශයට පැමණ තිබිණි. එලෙස වාලම්පුරිය විකිණීම සදහා පැමිණ තිබුණේ එකම පවුලක මව, පුතා, ලේලිය ඇතුළු පිරිසකි. ඔවුන්ගේ සහායට තවත් තිදෙනකු යතුරුපැදිවලින් පැමිණ සිටි බව පොලිසිය පවසයි. පැමිණ සිටි පුද්ගලයන් උපාය දූතයා මාර්ගයෙන් අත්අඩංගුවට ගෙන, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ අපවත් වූ හිමිනමක ඔවුන්ට මේ වාලම්පුරිය දුන් බවයි. අත්අඩංගුවට ගත් පිරිස 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ අංක 29 වගන්තියට හා සත්ත්ව හා වෘක්ෂලතා පනතේ 30 වන වගන්තියට අනුව වරදක් කර ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් ඊයේ (13) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති බැසිල් ක්‍රිෂාන්ත, කැලණිය පොලිස් කොට්ඨාස භාර (ස.පො.අ.) ධනංජය පෙරමුණ යන නිලධාරීන්ගේ උපදෙස් හා නියෝග පරිදි ජාඇළ පොලිස් ස්ථානාධිපති (ප්‍ර.පො.ප) චමින්ද එදිරිසූරිය මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති (උ.පො.ප.) පෙරේරා, කාන්තා (උ.පො.ප.) උත්පලා, කොස්තාපල්වරුන් වන කුමාර (85197), සුජීව (94955) පුබුදු (101944), අමිල (13171) යන නිලධාරීන් විසින් සැකකරුවන්, වාලම්පුරිය හා රථ අත්අඩංගුවට ගෙන තිබේ.