Monday, April 21, 2025
Home » සංචාරක ප්‍රතිපත්තියක් සැකසීමේදී ක්ෂේත්‍රයේ අයටත් සවන් දෙනවා

සංචාරක ප්‍රතිපත්තියක් සැකසීමේදී ක්ෂේත්‍රයේ අයටත් සවන් දෙනවා

by mahesh
July 14, 2023 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී සංචාරක ව්‍යාපාරයේ නිරත පුද්ගලයන්ගේ අදහස්වලටද සවන් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. දඹුල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නියෝජිත පිරිසක් පසුගියදා (11) විපක්ෂ නායක කාර්යාලයේදී හමු වීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

සංචාරක ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම තුළ එයට විසඳුමක් දෙන්නට නොහැකි රජයක් අද පවතින බවත්, පරාටේ නීතිය සහ ඉඩම් වෙන්දේසිය සම්බන්ධයෙක් කිසිදු සහනයක් දී නැති බවත්, ණය හා වාරික ගෙවීමේ මොරටෝරියම් විරාමය අහිමි කිරීම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ බෙල්ලට තොණ්ඩුවක් දැමීමට සමාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රට තුළ සංචාරක කර්මාන්තයේ ඇති විශාල ප්‍රශ්නයක් ලෙස ජාතික සංචාරක ප්‍රතිපත්තියක් නැතිකම බවත්, එය ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට වෙනස් වන, ප්‍රබලයන් කිහිප දෙනකුගේ වහල්භාවයට ලක් වූ ක්ෂේත්‍රයක් වී ඇති බවද ඔහු සඳහන් කළේය. කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් අමතක කොට සුළු බලවත් කණ්ඩායමක් රජ වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් එය පරාජය කිරීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්ධ සමහර පුද්ගලයන් රුසියානු සංචාරකයන් පමණක් ඉලක්ක කරගෙන තමන්ගේ වාසියට එම කටයුතු සිදු කිරීම තුළ සංචාරක කර්මාන්තයේ නියැළී සිටින සාමාන්‍ය ජනතාවට විශාල අගතියක් වන බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT