Home » දේවගැති ජෙරොම් අධිකරණ බලය අවභාවිත කිරීමට උත්සාහ කරනවා

දේවගැති ජෙරොම් අධිකරණ බලය අවභාවිත කිරීමට උත්සාහ කරනවා

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන

by mahesh
July 14, 2023 1:00 am 0 comment

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ලන්ඩනයේ රැඳී සිට වරින් වර පෙත්සම් ඉදිරිපත් කරමින් මෙරට අධිකරණ බලය අවභාවිත කිරීමට උත්සාහ කරන බවට ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඊයේ (13) අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළේය. එබැවින් ඔහු විසින් දෙවැනි වරටද ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභ කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ආගම්වලට අපහාස වන ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ දෙවැනි රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේ ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු ආගමික නායකයන් වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥවරයා මේ ඉල්ලීම කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ මේ පෙත්සම කැඳවනු ලැබිණි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා සහ ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු ආගමික නායකයන් කිහිප දෙනකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම සම්බන්ධයෙන් දැඩි විරෝධතා මතු කළහ. එහිදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මේ දේවගැතිවරයා සිදු කළ ප්‍රකාශයට එරෙහිව සිය සේවාදායකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මීට පෙර ගොනු කළ බවයි. අනතුරුව මේ දේවගැතිවරයාද තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර, පෙත්සම් දෙකම ලබන 28 වැනිදා කැඳවීමට නියමිතව තිබෙන බව ඒ මහතා කීය.

එසේම තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු මීට පෙරද රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අතර, එය කිසිදු හේතු දැක්වීමකින් තොරව ඔහු විසින්ම ඉල්ලා අස් කරගනු ලැබූ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. එසේම මේ දේවගැතිවරයාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය. එසේම මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වන බවද ඒ බව නීතිපතිවරයා විසින් මෙයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇති බවද ඒ මහතා සඳහන් කළේය. එසේ තිබියදී පෙත්සම්කරු ලොව පුරා සංචාරය කරමින් ලන්ඩනයේ රැඳී සිට මෙරට අධිකරණය බලය අභියෝගයට ලක් කරමින් මේ ආකාරයෙන් පෙත්සම් ඉදිරිපත් කොට විමර්ශන කටයුතුවලට බාධා සිදු කරමින් සිටින බවට ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

ආගමික සංහිදියාවට බාධා වන ආකාරයේ ප්‍රකාශ සිදු කළ හිමිනමක සහ කාන්තාවක නීතිය හමුවට ඉදිරිපත් කළ අතර, ඔවුන්ට මේ වන විට අධිකරණය විසින් ඇප දී තිබෙන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. එසේ තිබියදී මේ දේවගැතිවරයා සියලු ආගම්වලට අපහාස කරමින් අධිකරණය මඟහැරීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට උත්සාහ කරන බවට ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. එබැවින් තමන් මේ පෙත්සමට තරයේම විරුද්ධ වන බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද වික්‍රම මහතාද කියා සිටියේ නීතියට පටහැනි ආකාරයෙන් ගොනු කර තිබෙන මේ පෙත්සම නිෂ්ප්‍රභ කළ යුතු බවයි. මීට පෙර ඔහු විසින් ගොනු කර තිබූ රීට් පෙත්සම කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා ඉල්ලා අස් කරගත් පෙත්සම්කරු නැවත ඉදිරිපත් කර ඇති මේ පෙත්සමට කිසි සේත්ම අවසර දිය යුතු නැති බව ඒ මහතා සඳහන් කළේය. ඔහු ලෝකය වටේ සංචාරය කරමින් සිටින බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කෙළේය. එබැවින් මේ පෙත්සමට තමා තරයේ විරුද්ධ වන බව ඔහු සඳහන් කළේය.

මෙහිදී පෙත්සම්කාර දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ පෙත්සම සලකා බැලීම සඳහා කෙටි දිනයක් දෙන ලෙස ඉල්ලා සිටියේය. තමා මීට පෙර ගොනු කර තිබූ පෙත්සම ඉල්ලා අස් කරගත්තේ අලුතෙන් පෙත්සමක් ගොනු කිරීමේ අයිතිය සහිතව බව ඒ මහතා සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම සම්බන්ධයෙන් ඇති විරෝධතා ගොනු කිරීමට වගඋත්තරකාර පාර්ශ්වයට අවසර දීමට තීරණය කළේය. ඒ අනුව එම සීමිත විරෝධතා ජූලි 31 දා ගොනු කරන ලෙස එම පාර්ශ්වයන්ට නියම කෙරිණි. ඊට එරෙහි ප්‍රතිවිරෝධතා ඉන් අනතුරුව සතියකදී ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළ අතර‍, පෙත්සම අගෝස්තු 31 දා සලකා බැලීමට තීරණය කෙරිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT