Wednesday, April 9, 2025
Home » යළිත් දුම්රිය යාපනයට ගමන් අරඹයි

යළිත් දුම්රිය යාපනයට ගමන් අරඹයි

අනුරාධපුර දුම්රිය ස්ථානයේ පඬු කරඳ ගසකුත් සිටුවයි

by mahesh
July 14, 2023 1:00 am 0 comment

නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන කටයුතු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) දින නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සිදුකෙරුණු සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයෙහි අමාත්‍යවරයාගේ සුරතින් දුර්ලභ “පඬු කරඳ” ශාකයක් රෝපණය කිරීමද සිදුවිය. මීට අමතරව කිලිනොච්චිය සහ යාපනය දුම්රිය ස්ථානවලද “පඬු කරඳ” ශාක රෝපණය කරන ලදී.

අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ නවීකරණය කෙරුණු දුම්රිය මාර්ගය මධ්‍යයෙහි සාම්ප්‍රදායික හින්දු චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව දුම්රිය අනුරාධපුර සිට යාපනය දක්වා ගමන් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,

කෙටි කලක් සංවර්ධන කටයුතු වෙනුවෙන් නතර කර තිබූ යාපනය සිට කොළඹ දක්වා දුම්රිය ගමන් එළඹෙන 15 වැනිදා සිට නැවතත් සුපුරුදු පරිදි ආරම්භ කෙරෙනවා. ඊට අමතරව යාපනය ප්‍රදේශයේ වර්ධනය වන සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීම උදෙසා සහ ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අගෝස්තු පළමුවැනිදා සිට කොළඹ සිට යාපනය දක්වා නව සුඛෝපභෝගී රාත්‍රී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමටද අප කටයුතු යොදා තිබෙනවා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල්තුමා ඇතුළු නිලධාරීන්, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඩී එස් ගුණසිංහ මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT