“අනේ මගේ දුව ගෙදරින් ගියේ හොඳට ඇවිදගෙන. දවස් දෙකකට පස්සේ මේ විදිහට පෙට්ටියක දාලා උස්සගෙන එන්න වෙයි කියලා කවුද හිතුවේ මගේ මැණික.” පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී එන්නතක් ලබා දීමෙන් පසු පෙරේදා (12) මියගිය චමෝදි සංදීපනී මදුසිකා ජයරත්න නමැති 21 හැවිරිදි තරුණියගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය එසේ පැවසුවේ තම දියණියගේ අකල් වියෝව දරාගත නොහැකිව හැඬූ කඳුළිනි.
උදරාබාධයක් හේතුවෙන් පසුගිය 11 දින පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ චමෝදිගේ මරණය පොත්තපිටිය අලගල්ල ප්‍රදේශවාසීන්ට ගෙන දී තිබුණේ මහත් කම්පනයකි. කා සමඟත් ඉතා සුහඳව කටයුතු කළ ඇගේ වියෝව පවුලේ උදවියට පමණක් නොව ප්‍රදේශවාසීන්ටද දුකක් වේදනාවක් ගෙන දී තිබුණේ ප්‍රදේශයේ පොදු කටයුතුවලදී පවා ඇය පෙරමුණ ගෙන කටයුතු කළ කෙනෙකු නිසාය.
දියණියගේ වියෝව දරාගත නොහැකිව හඬා වැලපෙන මව මෙසේ පැවසුවාය. “දුවට මොනවත් අසනීප තිබුණේ නැහැ. එදා බඩේ අමාරුව කියලා කන්නේ නැතුව හිටියා. බඩඑළියයි වමනයයි යන නිසා කොටලිගොඩ ඉස්පිරිතාලෙට අරන් ගියා. එහිදී සේලයින් දුන්නා. සුවයක් නැති නිසා පේරාදෙණියට මාරු කළා. ගිලන් රථයෙන් මාත් දුවත් එක්කම ගියා. හදිසි ප්‍රතිකාර ඒකකයේ දී සේලයින් දීලා බෙහෙත් දුන්නා. පස්සේ 07 වාට්ටුවට දැම්මා. මේ ඉන්ජෙක්ෂන් එක ගැහුව ගමන් දුව ඇස් දනවා කියලා කිවුවා. ඒත් එක්කම නර්ස් නෝනා තවත් එකක් ගැහුවා. දුව කෑගහගෙන බාත්රූම් එකට දිවුවා. මමත් ඒ පස්සෙන් ගියා. සින්ක් එකේ ඔළුව ගහගෙන දරුවා කෑගැහුවා. නියපොතු මුහුණ ඔක්කොම නිල් වුණා. මම කෑගැහුවා මගේ දරුවා බේරලා දෙන්න කියලා. ඊට පස්සේ කට්ටිය ඇවිත් දුවව වාට්ටුවට ගෙනාවා. සිහියක් පතක් දරුවට තිබ්බේ නැහැ. මම දැක්කා දුවගේ පපුව තෙරපවමින් දොස්තර මහත්තුරු එයාට සිහිය ගන්න හදනවා. ඒත් මගේ දුව ඇස් ඇරියේ නැහැ. මම කෑගහලා කිවුවා මගේ දුවගේ ජීවිතේ බේරලා දෙන්න කියලා. ඒත් දොස්තර මහත්තුරු ඒක කරලා දුන්නේ නැහැ. මේ වගේ දුකක් තවත් අම්මා කෙනෙකුට නම් වෙන්න එපා. කවුරු හරි වරදක් කරලා තියෙනවා නම් ඒ අයට දඬුවම් දෙන්න ඕන. මොකද කතා කර කර හිටපු දරුවා තමයි මේ මනමාලියක් වගේ හැඩවෙලා අපි කා එක්කවත් කතා නොකර ඇස් පියාගෙන ඉන්නේ.”
මියගිය චමෝදි සංදීපනී මදුසිකා ජයරත්න පාසල් සමයේ දක්ෂ ක්‍රීඩිකාවකි. ජවන හා පිටිය ක්‍රීඩාවලට මෙන්ම එල්ලේ, ක්‍රිකට්, වොලිබෝල් ඇතුළු ඕනෑම ක්‍රීඩාවක දී සියල්ලන් අබිබවා දක්ෂතා දක්වන්නට ඇය සමතෙකි. ඇගේ නමට ලියැවී ඇති සහතිකපත් හා ඇය දිනා ඇති රන් පදක්කම් ඊට සාක්කිය.
රොෂාන් කුමාර ජයරත්න චමෝදිගේ වැඩිමහල් සොහොයුරාය. නැඟණියගේ වියෝව සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වූවේය. “නංගිට ඉහෙන් බහින ලෙඩක් තිබුණේ නැහැ. එයා කොරියාවේ යන්න ආසාවෙන් හිටියේ. පහුගිය දවස්වල කොරියන් භාෂා පන්ති ගියා. මම මංගල උත්සව ශාලා සැරසිලි කරනවා. පහුගිය 09 වැනිදා මම නුවර වැඩකට ගිහින් එනකොට කොත්තුවක් ගෙනාවා. බඩු බාලා අස්කරලා ඉවර වෙලා තමයි අපි කොත්තුව කෑවේ. මමයි නංගියි මගේ නෝනයි තුන් දෙනාම කොත්තු කෑවා. ඊට පස්සේ අපි තුන් දෙනාටම බඩේ අමාරුවක් ආවා. වමනෙයි බඩඑළිය යන එකයි දිගටම තිබුණා. ගමේ ඩිස්පෙන්සරියකින් බෙහෙත් ගත්තා. මටයි නෝනාටයි හොඳ වුණා. නංගිට ලෙඩේ ඒ විදිහටම තිබුණ නිසා එයාව 10 වැනිදා කොටලිගොඩ රෝහලට අරන් ගියා. එහිදී සේලයින් දීලා. ඒත් අඩුවක් නැති නිසා පහුවදා පේරාදෙණියට යවලා තියෙන්නේ අම්මත් එක්කමයි. නංගී තමයි ඉස්කෝලේ මැරතන් එක දිනන්නේ. මීටර 800 විතරක් නෙවෙයි මීටර් 100 පවා දුවලා ගත්ත සහතික මිටියක් එයා ළඟ තියෙනවා. කවදාවත් එයා ලෙඩක් කියලා බෙහෙත් අරන් නැහැ. මේ වතාවේ තමයි රෝහලකට ගියේ. ඒ ගිය ගමන එයාගේ අන්තිම ගමන වුණා.”
චමෝදිගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහල මඟින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විසින් සිදු කරනු ලැබ විවෘත තීන්දුවක් ලබා දී ඇත. ඇගේ මරණයට නිශ්චිත හේතුව කිව හැකි වන්නේ රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුය. අද (14) පස්වරුවේ චමෝදි සියලු දෙනාගෙන් සමුගෙන අවසන් ගමන් යාමට නියමිතය.