ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් සහ ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා අතර හමුවක් පසුගියදා (10) ධීවර අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. ජනතා විමුක්ති පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා ඇතුළු නියෝජිත පිරිසක් මේ අවස්ථාවට එක් වූ අතර මෙහිදී ධීවර ක්ෂේත්‍රයට බලපාන කරුණු 18ක් පිළිබඳව සිය ධීවර සමිතිවල ස්ථාවරය ඔවුහු ඇමැතිවරයාට පැහැදිලි කළහ.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා මඟින්, ලංකාවේ ධීවරයන්ගේ ගැටලු සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස විශේෂ කරුණු ඇතුළත් යෝජනාවක් පාර්ලිමේන්තු ගත කිරීමට කටයුතු කරන බවයි. එම යෝජනාවන්හි කරුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි කරුණු නම් තමන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද මෙහිදී ඇමැති දේවානන්දා මහතා ප්‍රතිඥා දුන්නේය. ධීවරයන්ට බලපාන ධීවර ආම්පන්නවල මිල අධිකවීම ගැනද මේ නියෝජිතයන් ඇමැතිවරයා හමුවේ කරුණු දැක්වූ අතර එම ආම්පන්න මිල අඩු කිරීමට ඉදිරි කාලයේදී පියවර ගන්නා බවද ඇමැතිවරයා පැවසීය.
පවතින ආර්ථික අර්බුදය ගැන තමන්ට අවබෝධයක් තිබෙන බවත්, එහෙත් පාරිභෝගිකයා වෙනුවෙන් කඩිනමින් පවතින මාළු මිල අඩු කිරීමට පියවර ගත යුතු බවත් පෙන්වා දුන් නියෝජිත පිරිස අවධාරණය කළේ වාරකන් කාලය හේතුවෙන් මාළු අස්වැන්න අඩු වුව ද මෙවර සාගරයේ මත්ස්‍ය සම්පත විශාල වශයෙන් අඩුවීමට බලපෑ විද්‍යාත්මක හේතු ද සොයා බැලිය යුතු බවයි.
සාගරයේ මත්ස්‍ය සම්පත විශාල වශයෙන් අඩුවීම පිළිබඳව නාරා ආයතනය මඟින් මේ පිළිබඳව දිගින් දිගටම පර්යේෂණ කරන බවත් චීනයෙන් ලද ඉන්ධන සහනාධාරය මඟින් ධීවරයන් 28000කට අධික පිරිසකට සහන සැලසූ බවත් පෙන්වා දුන් ඇමැතිවරයා බහුදින යාත්‍රා මඟින් ගෙන එන මත්ස්‍ය අස්වැන්න පසු අස්වනු සුරක්ෂිත කිරීමට ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බව ද දේවානන්දා මහතා පැවසීය.
ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් වන නාමල් තලංගම ධම්මික රණතුංග මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්වූහ.