Home » කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ කැඩුණු ගිලන් රථයෙන් කරදර ගොඩයි

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ කැඩුණු ගිලන් රථයෙන් කරදර ගොඩයි

by mahesh
July 14, 2023 1:00 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයට දී ඇති ගිලන් රථය වසර ගණනාවක සිට ධාවනය කිරීමට නොහැකිව ඉවත් කර ඇතැයි එම බන්ධනාගාරයේ නිලධාරියෙක් පැවසීය.

රැඳවූවකුගේ අසනීපයකදී ඉක්මනින් රෝහල් ගත කිරීමට ස්ථිර වාහනයක් නොතිබීම හේතුවෙන් කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරය මඟින් කරන ලද ඉල්ලීමකට අනුව එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි හිටපු කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා 2014 නොවැම්බර් මස 04 වැනි දින පාවිච්චි කරන ලද ගිලන් රථයක් පරිත්‍යාග කර තිබේ. මෙම ගිලන් රථය වසර කිහිපයක් ධාවනය කළ බවත්, ගිලන් රථයේ එන්ජිමේ සුළු අලුත්වැඩියාවක් හේතුවෙන් ධාවනයෙන් ඉවත් කර ඇති බවත් එම නිලධාරියා පැවසීය. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුම්වත් කර ඇති බවත්, මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ගිලන් රථය වසර ගණනාවක සිට කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරය ඉදිරිපිට නතර කර ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද කලක සිට පවතියි. මෙම ගිලන් රථය අබලන් වීම හේතුවෙන් අසනීප වන රැඳවූවන් රෝහල් ගත කිරීමටත්, නඩු සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට ඇති රැඳවූන් ද බන්ධනාගාර බස් රථ මඟින් ප්‍රවාහනය කිරීමට සිදුවීමත් ගැටලුවක් බව එම නිලධාරියා පෙන්වා දුන්නේය. මෙම ගිලන් රථය අලුත්වැඩියා කර බන්ධනාගාරයට ලබා දෙන ලෙස හෝ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු සිදු කරන ලෙස මාර්ගයේ ගමන් ගන්නා ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT