– මඟ බසින මඟීන් බස්සලත් නෑ
– පොලිසියෙන් ඇවිත් මඟීන්ව නගරයට ගිහින් දාලා
මාවනැල්ල නගරයේ සිට මඟීන් රැගෙන හෙම්මාතගම දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ රියැදුරා රථය බීමතින් ධාවනය වන බවට ලැබුණු තොරතුරකින් පසුව හෙම්මාතගම පොලිසියේ නිලධාරීන් බස් රථය අතරමගදී නවත්වන්නට සංඥා කරද්දී එය නොනවත්වා ධාවනය කළ රියැදුරා බසය මහ මඟ දමා දිවයෑමේ පුවතක් පෙරේදා (12) හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙම බස් රථය මාවනැල්ල නගරයෙන් හෙම්මාතගම දක්වා ධාවනය වන අතර, සුපුරුදු පරිදි 12 වැනි දින පස්වරුවේ මඟීන් විශාල ප්‍රමාණයක් රැගෙන බස් රථය හෙම්මාතගම දක්වා ධාවනය වන අවස්ථාවේ හෙම්මාතගම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. වයි. වික්ටර් මහතා සහ පොලිස් කො. උදය කුමාර මහතා මාවනැල්ල, හෙම්මාතගම මාර්ගයේ ගෝනාවල ප්‍රදේශයේදී බසය නැවත්වීමට සංඥා කර තිබේ. කෙසේ වෙතත් එහිදී නොනවත්වා බසය ධාවනය කළ රියැදුරු අතරමඟින් බසයෙන් බැසීමට සිටි මඟීන්ද නොබස්සවාම බසය ඉදිරියට ධාවනය කර තිබේ. එහිදී පොලිසිය ද යතුරු පැදියකින් බසය ලුහුබැඳ පැමිණ තිබේ. එසේ කිලෝ මීටරයක පමණ දුරක් වේගයෙන් ගමන් කිරීමෙන් අනතුරුව බසය පාර අයිනේ නවත්වා රියැදුරා බස් රථයෙන් පැන දිව ගොස් ඇති අතර, එහිදී මඟීන් රස්තියාදු නොකරවා හෙම්මාතගම නගරයට බස් රථය ගෙනැවිත් දමනු ලැබ ඇත්තේ පොලිස් රථ වාහන අංශයේ නිලධාරියකු විසිනි. බස් රථය පොලිසිය වෙත රැගෙන ගොස් බසයේ කොන්දොස්තරවරයාගෙන් කටඋත්තර ලබා ගැනීමෙන් අනතුරුව ඊයේ (13) බසය නිදහස් කළ බව පොලිසිය කියයි.
මඟීන් පවසන්නේ රියැදුරා බීමතින් සිටි නිසා පැන දුවන්නට ඇති බවයි. ඒ වන විටත් කාර්යාල සේවකයන්, දරුවන් මෙන්ම විශාල මඟීන් පිරිසක් එහි සිට ඇත. පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, රියැදුරාට පොලිස් අණ නොතකා ධාවනය කිරීම සහ අපරික්ෂාකාරී රිය පැදවීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව නඩු පැවරූ බවයි.