Home » හිමිකරු ඇප මත මුදා හරී: නඩුව ලබන 28දා යළි කැඳවයි
කුරුණෑගල හොර ඒජන්සියක් වැටලීම:

හිමිකරු ඇප මත මුදා හරී: නඩුව ලබන 28දා යළි කැඳවයි

by mahesh
July 14, 2023 1:00 am 0 comment

අනුර ප්‍රේමලාල්

රැකියා නියෝජිතායතනයක් වශයෙන් පවත්වාගෙන යමින් නීත්‍යනුකූල නොවන අයුරින් විදේශ රැකියාවලට පුද්ගලයන් බඳවා ගත් කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීම් කර හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල, බෞද්ධාලෝක මාවතේ සිරිපති ගොඩනැඟිල්ලේ OJDO world travels & tours නමින් මේ ව්‍යාජ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති අතර, එමඟින් කුවේට්, ඩුබායි, මාලදිවයින, රුමේනියා, කටාර්, සර්බියාව, රුසියාව ආදී රටවල රැකියාවලට යවන බව පවසා අයැදුම්පත් ලබාගෙන ඇති අතර, මේ වැටලීම ඉකුත්දා (08) සිදු කෙරිණි.

මේ වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් කාර්යාංශය වෙත ලද තොරතුරු අනුව වැටලීම කරන ලද අතර, එහිදී මේ ආයතනය පවත්වාගෙන ගිය අරුණසිරි බණ්ඩාර නම් පුද්ගලයකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 05ක්, විදේශ ගමන් බලපත්‍ර පිටපත් සහිත ලිපි ගොනුවක්, රබර් මුද්‍රා, හඳුනාගැනීමේ කාඩ්පත් හා රැකියා අයැදුම්පත් විශාල ප්‍රමාණයක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරු, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නැතිව ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යෑමේ චෝදනාව මත ඉකුත්දා (09) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහැරීමටත් ලබන 28 වැනි දින ඉදිරි නඩු විභාගය පැවැත්වීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ වැටලීමට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න, සරත් විමලවීර, ඉඳුනිල් පුෂ්පකුමාර, මධුශාන් විජේවර්ධන, නදීකා චන්ද්‍රමාලි, කේ.එල්.එන්. දමයන්ති හා ගයේෂා සුභාෂිණි නිලධාරීහු එක්වූහ.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මඟින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයන්ගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT