දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 17 වැනිදා විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.
අදාළ පෙත්සම මාර්ගගත ක්‍රමය ඔස්සේ සලකා බැලීමට නියමිතව තිබූ අතර එය විවෘත අධිකරණය හමුවේ කැඳවන ලෙස ඉල්ලා නීතිඥ සුනිල් වටගල මහතා මඟින් මෙම මෝසම ගොනු කරන ලදී.
අන්තර් සමාගම් සේවක සංගමය, එහි සභාපති වසන්ත සමරසිංහ, එහි ලේකම් නීතිඥ ජනක අධිකාරි ඇතුළු හය දෙනකු මෙහි පෙත්සම් කරුවෝ වෙති.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති වරයා,
මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය,
සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ ප්‍රධානීන්, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයන්, කැබිනට් මණ්ඩල ලේකම්වරයා, නීතිපතිවරයා ඇතුළු 46 දෙනකු මෙහි වගඋත්තර කරුවෝ වෙති.
සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් රජය ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු භාණ්ඩාගාර බිල්පත් හා රජයේ බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සහ සේවක අර්ථසාධක අරමුදලේ ණය මුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.