Home » පාකිස්තානයට IMF ණය මුදලින් ඩොලර් බිලියන 3ක් අනුමත වෙයි

පාකිස්තානයට IMF ණය මුදලින් ඩොලර් බිලියන 3ක් අනුමත වෙයි

කොටස් වෙළෙඳපොළත් 6% කින් ඉහළ ගිහින්

by mahesh
July 14, 2023 1:00 am 0 comment

දැඩි ආර්ථික අර්බුදයට ලක් වූ පාකිස්තානය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මාස අටක් පුරා පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අනුමත වූ අමෙරිකානු ඩොලර් බිලියන 3ක ණය මුදලින් ඩොලර් බිලියන 1.2ක් එරට මහබැංකුවේ ගිණුමට බැර වී ඇතැයි පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් ප්‍රකාශ කර තිබේ. දෙපාර්ශ්වය අතර තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පසුගියදා පැවැති අතර, පෙරේදා එම ණය මුදල අනුමත වීමත් සමඟ එරට කොටස් වෙළෙඳපොළේ KSE -100 මිල දර්ශකය 6% කට වඩා වර්ධනය වී ඇතැයි ද වාර්තා වේ. පසුගිය වසර කිහිපය පුරාම ලෝක කොටස් වෙළෙඳපොළේ වඩාත්ම බංකොලොත් කොටස් වෙළෙඳපොළ ලෙස පැවැති පාකිස්තාන කොටස් වෙළෙඳපොළ ඉහළ යෑමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලට අමතරව පසුගියදා සෞදි රජයෙන් සපයනු ලැබූ ඩොලර් බිලියන 2ක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සපයනු ලැබූ ඩොලර් බිලියනයක මූල්‍ය­ාධාර ද බලපෑ බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල කොටස් වශයෙන් ලබා දීමට නියමිතව ඇති අතර, ඉතිරි ඩොලර් බිලියන 1.8ක ණය මුදල තවත් නිරීක්ෂණ දෙකකට පසු ලබන නොවැම්බර් මාසයේදී සහ ඊළඟ වසරේ පෙබරවාරි මාසයේදී නිකුත් කරනු ඇතැයි පාකිස්තාන මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT