පසුගිය කාලය පුරාම ලෝකය රත්වෙන්නට මාතෘකා ඕනෑ තරම් විය. ඒවා නිකමට ආවාට ගියාට කතා බහ කරන්නට යෙදුණු මාතෘකා ද නොවීය. දේශපාලන පිටිය මෙන්ම රටවල් අතර සිදුවුණු යුද ගැටුම් තත්ත්වයන්ද ඒ තුළ අන්තර්ගත විය. ඒවා කතා කර හුස්මක් ගන්නටත් මත්තෙන් නව මාතෘකා මතුව එන්නේ කර්මාන්ත ශාලාවකින් නැවුම් නිෂ්පාදන එළියට එන්නා සේය. එහෙත් මෙවර ලෝකයම වාගේ කතා කළේ එකම මාතෘකාවක් පිළිබඳවය. එයට හේතු වූයේ ලෝකයේ බහුතර කලාපවලට එහි බලපෑම දැනෙන්නට වූ නිසාවෙනි. එයට හේතුව වූයේම ලෝකයේ රත් වීමය. එනම්, අන් කවරදාටත් වඩා මිහිතලය උණුසුම් වීමය.
වර්තමානයේ බොහෝ දෑ සිදුවන්නේ සහ සිදුවෙමින් පවතින්නේද වාර්තාවන් සමඟිනි. ඒවා සියල්ල ගොනු වන්නේ වාර්තා පොත් අතරටය. ක්‍රීඩා හෝ දේශපාලන පිටියේ ආර්ථිකමය කරුණු අතර වේවා එය එසේමය. එයට නෑදෑකම් කියන්නට මෙන් මිහිතලය රත් වෙන්නට පටන් ගත්තේද වාර්තා තබමිනි. උෂ්ණත්වය සෙමින් සෙමින් ඉහළ යමින් හරියටම එය උච්චතම අගයකට පත්වූයේ පසුගිය ජූලි 03 වනදාය. එය 2016 අගෝස්තු මාසයේ සිට පැවැති සෙල්සියස් අංශක 16.92ක ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 17.01 දක්වා වැඩි වීමකි. එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) දත්තයන්ට අනුව ජූලි මාසයේ පළමු සතිය උණුසුමින් වැඩිම සතිය ලෙසින් වාර්තා විය. එය පසුගිය බ්‍රහස්පතින්දා එනම්, ජූලි මස 6 වැනිදා දෛනික ගෝලීය උණුසුම උපරිමය ලෙසින් පෙන්වූයේ සෙල්සියස් අංශක 17.08කි.
මේ ආකාරයට අධික තාපය ඇතිවන්නේ එල්නිනෝ කාලගුණික සංසිද්ධීන් සහ කාබන්ඩයොක්සයිඩ් අඛණ්ඩව විමෝචනය වීම නිසාය. මේ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන්නන්ගේ අදහස වන්නේ අනාගතයේදී ඉදිරි කාලයේදී එල්නිනෝ ශක්තිමත් වීම තුළ තවතවත් උෂ්ණත්වය ඉහළ යාමට හැකි බවයි. ඒ පර්යේෂකයන්ගේ කතාවය.
එල්නිනෝ සංසිද්ධිය
මෙම එල්නිනෝ සංසිද්ධිය කවරක්ද යන්න ඔවුන් අවධි තුනක් ඔස්සේ හඳුන්වා දීමක් සිදු කරනු ලබයි. ඒ අනුව එය නිවැරදිව හැඳින්වෙන පරිදි උණුසුම්, සීතල හෝ උදාසීන තත්ත්වයන් වශයෙන් හඳුන්වයි. විදෙස් පුවත් සේවා සඳහන් කරන ආකාරයට දේශගුණික පර්යේෂක ලියොන් සයිමන්ස් පවසන්නේ, “අපට විශ්වාසදායක වාර්තා පවතින බැවින් මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 දක්වා ළඟා වීම යනු ලෝකය උණුසුම් වීම මත එය සැලකිය යුතු සන්ධිස්ථානයක් බවයි. එමෙන්ම මේ කතාවට තවත් විස්තර එකතු කරන ඔහු පවසන්නේ මේ මොහොත යනු එල්නිනෝහි ආරම්භක අවධිය බැවින් ඉදිරි වසර එකහමාරක කාලය තුළ දෛනිකව මාසිකව මෙන්ම වාර්ෂිකව මේ මොහොතේ පවතින උෂ්ණත්ව වාර්තාවන් තව තවත් බිඳ වැටෙනා බවයි. ඔහු පවසන කරුණෙහි සත්‍යයක් ඇතැයි පිළිගත හැක්කේ ජූලි මාසයේ වාර්තාගත උෂ්ණත්වයක් සඳහන් වූයේ ජුනි මාසයේදී ඉහළම උෂ්ණත්වයක්ද තිබියදීය.
මේ මොහොතේ පවතින දැඩි උෂ්ණත්වයෙහි බලපෑම ලෝකයේ අනෙක් කොනටද දැනෙමින් පවතිනා බව ඔහුගේ මතයයි. ඇන්ටාක්ටිකාවේ, යුක්රේනයේ වර්නාඩ්ස්කි පර්යේෂණ කඳවුරේ සෙල්සියස් අංශක 8.7ක් පෙන්නුම් කිරීමත් සමඟ ජූලි මාසය තුළ උෂ්ණත්වය පිළිබඳව එහි තිබූ වාර්තාව බිඳී ගියේය. ඇන්ටාක්ටිකාවට අයත් සේමොර් දූපත්වල උෂ්ණත්වය මීට පෙර තිබූ තත්ත්වයන්ට වඩා වැඩි බව පෙන්නුම් කෙරෙමින් තිබේ. මෙහි ඉහළම උෂ්ණත්වය ලෙසින් සඳහන් වූයේ 2020 වසරේදී සෙල්සියස් අංශක 20.7කි. එය ඒ ආකාරයෙන් වුවද පසුගිය වසර ගණනාවක් පිළිබඳවම සලකා බැලීමේදී පෙනී යන කරුණ වන්නේ එහි උෂ්ණත්වය, පසුගිය වසර 50කදී පමණ සෙල්සියස් අංශක 3කින් ඉහළ ගොස් ඇති බවය. පර්යේෂකයන් පවසන්නේ මේ දෙස බැලීමේදී එල්නිනෝ ශක්තිමත් වීම තුළ ගිම්හාන කාලයේදී උතුරු අර්ධගෝලය තව තවත් උණුසුම් විය හැකි බවයි. මේ අතරම ඔවුන් සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපයක කාලයක් තුළ දකුණු අර්ධගෝලයේ උෂ්ණත්වය මඳක් පහත වැටිය හැකි බවයි. එහෙත් එල්නිනෝ බොහෝ සෙයින් සක්‍රියව ඇති බැවින් නැවතත් අගෝස්තු මාසයේදී මීට වඩා උණුසුම් වීම ඔවුන් බලාපොරොත්තු වේ.
යුරෝපයේ උෂ්ණත්වය
ලෝකය පුරා පවතින ඉහළතම උෂ්ණත්ව අගයන් තුළ යුරෝපයේ පැවති වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ 2021 වසරේදීය. ඉතාලියේ සිසිලිහි එම වසරේ අගෝස්තු 11 වැනිදා උෂ්ණත්ව අගය ලෙසින් පෙන්නුම් කර තිබුණේ සෙල්සියස් අංශක 48.8ක පමණ උෂ්ණත්වයකි.
ලෝක ගෝලය උණුසුම් වීමත් සමඟ එය සාමාන්‍යකරණයෙන් මිදෙන්නට වූයේ පෘථිවිය වෙනම කලාපයකට ඇතුළු වූවා සේය.
එංගලන්තයේ උණුසුම්ම වසර පිළිබඳ වාර්තා 10ක් ඉදිරිපත්ව ඇති අතර මේ සියල්ල ඉදිරිපත්ව තිබුණේ 2003 වසරට පෙරය. කෙසේ වුව 2023 යනු එංගලන්තය හොඳින්ම උණුසුම් වූ වසර ලෙස විද්‍යාඥයින් විසින් සඳහන් කර සිටී. එංගලන්තයේ උෂ්ණත්වය පිළිබඳ වාර්තාවන් සඳහන් කිරීම ආරම්භ වී ඇත්තේ 1884 වසරේදීය. එදා සිට මේ දක්වා ඉහළින්ම සඳහන් වූ වසර වන්නේ අප මේ ගත කරමින් යන වසරේ ජුනි මාසයයි. එරට කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ මෙය ආරම්භයක් පමණක් බවත් දේශගුණික විපර්යාසයන් මත මෙවැනි අසාමාන්‍ය උෂ්ණත්ව අගයන් ඉදිරි දශක කිහිපයේදී නිරන්තරයෙන් සිදු විය හැකි බවයි. එංගලන්තයේ මෙතෙක් ජුනි මාසයේ පවතින සාමාන්‍ය උෂ්ණත්වය ලෙසින් සඳහන් වූයේ සෙල්සියස් අංශක 15.8ක පමණ තත්ත්වයක්ය. මෙම වසරේ උෂ්ණත්වය වැඩි වීමත් සමඟ එරට කාලගුණ විද්‍යාඥයින් අපූරු ප්‍රකාශයක් කර තිබුණි. එනම් දේශගුණික විපර්යාසවලට ස්තුතිවන්ත වන්නට මීට පෙර පැවති වාර්තාවන් බිඳ දමන්නට හැකියාව තිබූ බවයි. ඔවුන් සඳහන් කරන්නේ 1940 දශකයේ සිට පැවති වාර්තාව දෙගුණ කරන්නට මේ වසරේදී හැකියාව ලැබුණු බවකි.
මේ අතරම ඔවුන් පවසන්නේ ස්වාභාවික විචල්‍යතාවයනට අමතරව දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවි වායුගෝලය උණුසුම් වී වාර්තාගත ඉහළ උෂ්ණත්වයකට පත්වීමේ හැකියාව තිබෙන බවය. එමෙන්ම 1940-1976 කාලය තුළ තිබූ 14.9ක උෂ්ණත්ව සාමාන්‍යය 2050 වසර පමණ වන විට අභිභවා යාමේ අවස්ථාව 50%ක් පමණ තිබෙන බවකි.
එංගලන්තයේ එසේ වන විට ස්කොට්ලන්තයේ සිට නිරිතදිග එංගලන්තයේ කලාපයක තිබුණු උෂ්ණත්වයට වඩා වැඩි අගයක් පෙන්නුම් කර තිබේ. මෙම උණුසුම් කාලගුණයත් සමඟ පීඩා විඳින්නට සිදුවූයේ මිනිසුන්ට පමණක් නොවේ. ධීවර විශේෂඥයන්ගේ ප්‍රකාශනයන්ට අනුව ඇළ සහ ගංගාවල මසුන් දහස් ගණනක් මිය යමින් තිබේ. එහෙත් පාරිසරික ආයතන එය ඒ ආකාරයෙන්ම පිළිගැනීමට සූදානමක් නැත. ඔවුන් පවසන්නේ අධික වර්ෂාව, පරිසර දූෂණය හා වෙනත් සාධක ද මේ සඳහා බලපා ඇති බවයි.
ලෝකයේ වැඩිම උෂ්ණත්වය සඳහන් වූ දිනය ලෙසින් සැලකෙන පසුගිය ජූලි 3 වන සඳුදාට පෙර දින ප්‍රංශයේ උපරිම උෂ්ණත්වය වාර්තා විය. එනම්, එදින ඉරිදා දිනය ප්‍රංශයේ වීදිවල සිටියවුන්ට ඉවසාගත නොහැකි තරමේ උෂ්ණත්වයක් ගෙන දුන්නහ. ජූලි 2 වැනිදා දිනය ප්‍රංශයේ පැවති උෂ්ණත්වය සෙල්සියස් අංශක 37-38ක් ලෙස වාර්තා විය.
වැඩිම උෂ්ණත්වය
උෂ්ණත්වය එදත් අදත් කෙමෙන් කෙමෙන් වර්ධනය වීමක් සම්බන්ධයෙන් කියවෙන විට මෙතෙක් ලෝකයේ වැඩිම උෂ්ණත්වය පැවැති ස්ථානය ලෙස සැලකෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පිහිටි ඩෙත්වැලි ප්‍රදේශයයි. එය සෙල්සියස් අංශක 56.7ක පමණ තත්ත්වයකි. මෙසේ වාර්තා වී තිබුණේ 1913 වර්ෂයේදීයි. කෙසේ වුවද පසුගිය කාල සමයේදී ඉන්දියාවට ද මෙහි බලපෑම දැඩිව දැනෙන්නට විය. මේ හේතුවෙන් ඉන්දියාවේදී පුද්ගල මරණ සිදු වූයේ මේ කරුණු හේතුවෙනි.
විද්‍යාඥයන් පවසන්නේ උෂ්ණත්වය ඉහළ යාම තුළ විවිධ හේතූන් මූලික කරගෙන ඉහළ මරණ සංඛ්‍යාවක් සිදු විය හැකි බවයි. මේ නිසා වැඩිහිටියන්ගේ සහ කාන්තා මරණ ඉහළ යා හැකි බව ද ඔවුන්ගේ මතයයි.
මේ ආකාරයටම අප්‍රිකාවේ ඉහළම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ ටියුනීසියාවේ කෙවිලිහිදීය. එහිදී වාර්තා වී ඇත්තේ සෙල්සියස් අංශක 55ක් පමණය. ආසියාවේ වැඩිම උෂ්ණත්වය මෙතෙක් වාර්තා වී ඇත්තේ ඉරානයෙනි. එය සෙල්සියස් අංශක 54ක් පමණය.
කරුණු කාරණා කවරේ වුවද මේ පිළිබඳව පර්යේෂණ පවත්වනු ලබන විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ මෙම තත්ත්වය අනාගතයේදී දරුණු තත්ත්වයකට පත්විය හැකි බවයි. මෙම උෂ්ණත්වය ඉහළ යාමම දේශගුණික විපර්යාසයන්ට මූලිකම හේතුව වී තිබේ. වර්තමානයේදී මෙතරම් දරුණු ආකාරයෙන් උෂ්ණත්වය වැඩි වෙමින් පවතින්නේ එල්නිනෝ බලපෑම නිසාය. මෙම එල්නිනෝ බලපෑම යම්කිසි ආකාරයෙන් ලොව පුරා ජනතාවට කරනු ලැබූ අනතුරු ඇඟවීමක් වැනිය. මෙම උෂ්ණත්වය ඉහළ යාම මඟින් තවත් සිදු විය හැකි අතුරු ව්‍යසනයන් වශයෙන් හැඳින්විය හැක්කේ සාගර ජල මට්ටම ඉහළ යාමේ තර්ජනයට මුහුණ දීමට සිදුවිය හැකි වීමයි. මන්ද දැඩි ලෙස උෂ්ණත්වය ඉහළ යාම මඟින් හිම හා අයිස් කඳු දිය වීමෙන් ජල ඝනත්වය ඉහළ යාමයි.
කෙසේ වුව මෙම දැඩි උෂ්ණත්වය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ උතුරු කැලිෆෝනියාව, නිව් මෙක්සිකෝ, බටහිර ඔරිගන් ටෙක්සාස්, ෆ්ලොරිඩා ඇතුළු ස්ථානවල මිලියන 30කට අධික ජනතාවක් සඳහා තාප උපදේශන කටයුතු ක්‍රියාත්මක වේ.
මෙම තත්වය යටතේ ඇරිසෝනා ප්‍රාන්තයේ දේශගුණ විද්‍යාඥයකු වන එරිනාත් සැෆෙල් පවසන්නේ, “මිනිසුන් විජලනය වී ඇති බවත් ඔවුන් සිසිල්ව තබා ගත යුතු බවත් හා අවට සිටින පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් ය.”