13 වෙනිදා රාත්‍රියේ ප්‍රංශ වීදී පුරා සංචාරය කරන ලද්දේ ප්‍රචණ්ඩත්වයය. මුදල් ඇමැති නෙකර් ඉවත් කිරීම ප්‍රධාන කර ගත් කැරලිකරුවන්ගේ ඉල්ලීම් මාලාව, රැස්වීම සඳහා ඇති නිදහස, පාන් සහ තිරිඟුවල මිල පහත හෙළීම ආදියෙන් ද තීව්‍ර වී තිබුණි. 1789 ජූලි 14 වෙනිදා ප්‍රංශ විප්ලවයේ සේව නුලට ගිනි තැබූ දවස ලෙස, බැස්ටිලයට කැරලිකරුවෝ කඩා වැදුණාහ. ඒ උණුසුම් සංවත්සරය මධ්‍යයේ ඊයේ මාධ්‍ය වාර්තා කර තිබුණේ මිලාන් කුන්දේරා සිය සිතීම නතර කර ඇති බවය.
1929 වසරේදී චෙක් ජනරජයේ ප්‍රභූ පවුලක කුන්දේරා උපන්නේය. කුන්දේරා අනභිභවනීය වන්නේ මාක්ස්වාදයෙන් පැන නඟින මර්දනය සමඟය. මේ රටේ වාමවාදීන් රසවින්දනය සඳහා කට ගැස්මට මිලාන් කුන්දේරා භාවිතයට ගන්නේ මුත්, ඔහුගේ ලිවීමට පමණක් නොව කථිකාචාර්ය තනතුරට පවා තහනම් පනවන ලද්දේ, චෙක් කොමියුනිස්ට් ආණ්ඩුවය. එතැන් සිට ඔහු ප්‍රංශයේ සංක්‍රමණික ජීවිතයට හුරු විය. ලියන කියන රැස්වීමේ නිදහස අදහන මේ රටවල සිටින වම්මු බලයට ආ කල්හි, චෙක් කොමියුනිස්ට් පාලනය සේම බව, මේ අතරේ සිහිකර ගත යුතුය. මාක්ස්වාදය බලයට පත්වීම සඳහා වූ රිටකි. එයින් බිහිවන්නේ ඔවැනි මර්දනීය ආණ්ඩු මිස, දේශපාලන වශයෙන් ‘ඇඩ්‍රස්’ නැතිව සිටින විට, කියවන පන්නයේ නිදහසක් නම් නොවේ. ඒ සඳහා හොඳම සාක්ෂිය ඊයේ මළ කුන්දේරාය.
කුන්දේරා මළ දිනයේ තවත් ශෝකී සිද්ධි දෙකක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. මේ තීරුව පුවත් විමසුමක් නොවන්නේ නමුදු සරමක් හැඳ, තොප්පියක් දමා, එළවළු මල්ලක් රැගෙන පාරේ මළ, ඒ ‘හිමියන්’ ගැන අපි වැඩිමනත් කතාවක් නොකියන්නෙමු. ශාසනය වනාහි මානවයා ලද මහඟුම දායාදයකි. දැන් කලක පටන් එයට ප්‍රහාර එල්ල වන්නේය. එකක් පිටින්ය. අනෙක ඇතුළත සිටිනා, සිල් බිඳගත් පිරිසකගෙනි. ඒ සියල්ල අවසානයේ සේවය කරන්නේ, ශාසනය වනසාලීමටය. ගෙදර ඇති කිලුටු රෙදි අපි හන්දිය මැද්දේ තියාගෙන සෝදන්නේ නැත. හැබැයි ඒවා සේදිය යුතුය. ‘කිලුටු සළු හැඳ’ මේ ගමන යා නොහැකිය. ඒ සඳහා මහ නාහිමියෝ ප්‍රමුඛ වග කිව යුත්තෝ දැනටමත් පියවර ගෙන සිටිති. ඒ නිසා, මහ සංඝයා විෂයෙහි කලකිරුණු හැසිරීමක් බෞද්ධ සමාජයේ ඇති විය හැකිය. හේතු පල දහම අනුව සිතා, ඒ මහා සඝරුවන කෙරෙහි සැක නොසිතා ඉදිරි කටයුතු සිදු කරන මෙන් උදක්ම මේ තීරුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
“මට පේන විදිහට ලෝකය පුරා සිටින මිනිස්සු දැන් වැඩි කැමැත්තක් දක්වන්නේ අවබෝධ කර ගැනීමට වඩා විනිශ්චය කිරීමටයි. ප්‍රශ්න කරනවාට වඩා පිළිතුරු දීමට යි” නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ෆිලිප් රොත්ට, මිලාන් කුන්දේරා පවසා තිබිණි.
ඒ මේ යුගයේ මානව ස්වභාවයය. මහනුවර රෝහලේදී යළිත් වරක් ‘කියන්නට ද අවුල් ජාතියේ මරණයක් සිදුව තිබුණි. නුවර වැවට හාදු දිදී මානෙල් මලක් පිපෙන්නා සේ, නිවසකට කල එළියක් කැඳවූ දියණියකට වූ ඒ විපත, අදහා ගැනීමටද නොහැකිය. සොඳුරු රුවැති ඒ දියණිය රෝහලට පැමිණ ඇත්තේ, උදරයේ අමාරුවකට බෙහෙත් ගැනීමටය. ‘දුන්නා අසමෝදගම්’ වලින් එහාට ගිය ඒ උදරාබාධය ඇති වන්නේ, කඩයකින් කන ලද රාත්‍රී කෑමක් හේතුවෙනි. කඩේ වැරැද්දක් ඇතත් නැතත්, අවසානයේ අපි යන්නේ රෝහලටය. එතැනදී මේ දියණියට ලැබුණු ප්‍රතිකාරය නිමා වූයේ, ඇම්බියුලන්ස් එකෙන් ගොස්, හර්ස් එකෙන් ගෙදර එන සිද්ධියක් නිර්මාණය කරමිනි. මේවාද ගෑස් සිලින්ඩර් පිපිරුණා වැනි වැඩ වන්නටද ඉඩ තිබේ. දැන් ‘සියලු සංස්කාරයෝ අනිත්‍යය – සියලු එන්නත් මාරාන්තිකය’ කියන ආස්ථානය දක්වා සමාජය පැමිණ තිබේ. වුණු දේ පිළිබඳව අපට නිගමනයකට තවම එළඹිය නොහැක.
කුන්දේරාගේ ‘පියාපත් වන්’ නවකතාවේ එන මහාචාර්ය ෆ්‍රාන්ස්ට අහම්බෙන් සබිනා නම් සුන්දර යුවතියක් හමුවේ. කාලයක් තිස්සේ රහසිගතව සබිනා සමඟ සම්බන්ධයක් පවත්වාගෙන යන ෆ්‍රාන්ස් එක් මොහොතකදී සියල්ල තම බිරියට කියා සිටින්නේය. ඒ ඉම භයානක වෙයි. සබිනා සමඟ එක්වීම සඳහා සිය නෛතික කුටුම්භයෙන් වෙන් වෙන්ට වෙර දරන පැයේ, ඔහුට පිටුපාන්නේ සබිනාය. එතැන් සිට ඔහු සබිනාගේ පෙම්වතා ලෙස නොව බැතිමතා ලෙස හැසිරේ. අප ද සිද්ධි ගත යුත්තේ ඒ අයුරිනි. සිද්ධියක් යනු පාඩමකි. එතැන් සිට අධ්‍යයනය හරහා සිද්ධියකින් අපට පාඩමක් ඉගෙන ගත හැකිය. මහනුවර සිදු වූ සිද්ධි දෙකම හොඳ පාඩම් දෙකකි. දියණියගේ සිද්ධියට පෙර එවැනි එන්නත් ප්‍රශ්න කිහිපයක් එකදිගට ඇති විය. ඒවා ගැන ද තවම නිශ්චිත පිළිතුරක් අප ලබාගෙන නැත. මේවා සෞඛ්‍ය අමාත්‍යාංශයට ගල් ගැසිය හැකි දේවල් නොවේ. සෞඛ්‍ය සේවයේ නිරත විද්වත්හු නිරාකරණය කළ යුතු දෑය.
තවම ජීවිත ගණනාවක් ශල්‍යකර්මයක් සඳහා මේ මොහොතේ මුහුණ දෙනවා ඇත. ඒ ජීවත් වීමේ ආශාව නිසා මිස ‘ඔපරේෂන් ඩෙඩ් බොඩි’ වීම සඳහා නොවේ. එන්නත ගසනු ලබන ශරීරයට වඩා, දැන් බයෙන් ජීවත් වන්නේ ඉන්ජෙක්ෂන් එක විදින කෙනාය. මේ සඳහා තවම විසඳුමක් නැත්තේ හෝ අඩුම ගානේ ‘වුණේ මොකක් දැයි’ කියන්නට බැරි වුණේ ඇයි දැයි අප කතිකා කර ගත යුතුය.