Sunday, April 20, 2025
Home » ආසියාවේ නැඟී එන ක්‍රීඩකයෝ කොළඹදී අද සිට ක්‍රිකට් සටනේ

ආසියාවේ නැඟී එන ක්‍රීඩකයෝ කොළඹදී අද සිට ක්‍රිකට් සටනේ

පළමු තරගයට ශ්‍රී ලංකාව-බංග්ලාදේශය

by gayan
July 13, 2023 1:00 am 0 comment

කණ්ඩායම් නායකයෝ (වමේ සිට) අලි නසීර් (එමීර්), අකීබ් ඉල්යාස් (ඕමානය), මොහොමඩ් හාරිස් (පාකිස්තානය), යෂ් දුල් (ඉන්දියාව), මෙහොමඩ් සයිෆ් (බංග්ලාදේශය), ෂහිදුල්ලා කමල් (ඇෆ්ගනිස්තානය), රෝහිත් පෝඩෙල් (නේපාලය). ඡායාරූප – ප්‍රින්ස් ගුණසේකර

ආසියාවේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ‘ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් එක්දින ක්‍රිකට් තරගාවලිය’ අද (13) කොළඹදී ආරම්භ වෙයි. අද සිට 23 වැනිදා දක්වා මේ තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාව සමඟ කණ්ඩායම් 8ක් එක් වෙයි. කොළඹ එස්එස්සී, සීසීසී, පී. සරා ඕවල් සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිත මේ තරගාවලියට ඇතුළත් තරග සංඛ්‍යාව 15කි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයන් වන වත්මන් ශූර පාකිස්තානය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය සමඟ ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රිමියර් කුසලාන තරගාවලියේ හොඳම කණ්ඩායම් 3 වන එක්සත් අරාබි එමීර්, ඕමානය සහ නේපාලය නියෝජනය කරමින් කණ්ඩායම් මේ තරගාවලියට එක් වෙයි. එහිදී නේපාලය නියෝජනය කරමින් ජාතික ක්‍රිකට් කණ්ඩායම එක් වන අතර සෙසු රටවලින් ‘ඒ’ කණ්ඩායම් එක් වෙයි. අද සිට 19 වැනිදා දක්වා තරගාවලියේ මූලික තරග පැවැත්වෙන අතර, එහිදී ‘ඒ’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ ඕමානයත්, පාකිස්තානය, ඉන්දියාව, නේපාලය සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් ‘බී’ කාණ්ඩයෙනුත් තරග බිමට පිවිසෙයි.

මූලික වටය අවසානයේ කාණ්ඩ ද්විත්වයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට එක් වන අතර, එම තරග 21 වැනිදා පී. සරා ඕවල් සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදීත්, අවසන් මහා තරගය 23 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.

මේ තරග 15 අතුරින් තරග 10ක් දිවා තරග ලෙස පෙරවරු 10.00ට ආරම්භ වන අතර, තරග 5ක් පස්වරු 2.00ට ආරම්භ වන්නේ දිවා රාත්‍රි තරග ලෙසිනි.

මෙවර තරගාවලිය පැවැත්වෙන 5 වැනි අවස්ථාව මෙය වන අතර, මින් පෙර පැවති තරගාවලිවල සාර්ථකම කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ දෙවරක් (2017 සහ 2018) ශූරතාව දිනා ගනිමිනි. කෙසේ වෙතත් අවසන් වරට 2019 පැවති තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට මූලික වටයෙන් ඉවත් වීමට සිදුව තිබිණි.

2013 පැවති පළමු තරගාවලි‍යේ ශූරතාව ඉන්දියාව දිනාගත් අතර, වත්මන් ශූරයන් වන්නේ පාකිස්තානයයි.

මේ තරගාවලියට ශ්‍රී ලංකාව සත්කාරකත්වය දෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර, මින් පෙර 2018 වසරේ පාකිස්තානය සමඟ සම සත්කාරකයන් ලෙස කටයුතු කළේය.

මේ අතර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හිමිව තිබේ.

පහළොස් දෙනකුගෙන් සමන්විත මේ කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කරන අවිශ්ක ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර සමඟ සිම්බාබ්වේ සංචාරයට එක්වූ සහන් ආරච්චිගේ, දුෂාන් හේමන්ත සහ චාමික කරුණාරත්න ද එක්ව සිටිති.

තරගාවලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය – දුනිත් වෙල්ලාලගේ (නායක), පසිඳු සූරියබණ්ඩාර, මිනෝද් භානුක (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චිගේ, අශේන් බණ්ඩාර, ළහිරු උදාර (කඩුලු රකින්නා), ජනිත් ලියනගේ, බිනුර ප්‍රනාන්දු, ළහිරු සමරකෝන්, ඉසිත විජේසුන්දර, චාමික කරුණාරත්න, ප්‍රමෝද් මධුෂාන්, දුෂාන් හේමන්ත.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT