Home » පළමු දිනයේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 2ක්

පළමු දිනයේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 2ක්

by gayan
July 13, 2023 1:00 am 0 comment

  • නදීෂාගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්
  • ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය

තායිලන්තයේ බැංකොක් නුවරදී ඊයේ ආරම්භ වූ 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පළමු දිනයේදීම පදක්කම් දිනා ගැනීමට නදීෂා ලේකම්ගේ සහ ගයන්තිකා අබේරත්න සමත් වූහ.

කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක් වූ නදීෂා ලේකම්ගේ මීටර් 60.93 දක්ෂතාවක් සමඟින් ලෝකඩ පදක්කම දිනාගත් අතර, ඇයගේ මේ දක්ෂතාව නව ශ්‍රී ලංකා වාර්තාවක් බවට ද පත් විය. ඒ සමඟ බිඳ වැටුණේ නදීකා ලක්මාලි විසින් 2013 වසරේ යුද හමුදා ස්වේච්ඡා බලකා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලියේදී පිහිටුවා තිබූ මීටර් 60.64ක ශ්‍රී ලංකා වාර්තාවයි. මේ ඉසව්වේ රන් පදක්කම ජපානයටත්, රිදී පදක්කම චීනයටත් හිමි විය.

ඊයේ කාන්තා මීටර් 1500 ඉසව්වට එක් වූ ගයන්තිකා අබේරත්න විනාඩි 4:14.39කින් තරගය නිමා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය. එම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් ජපාන ක්‍රීඩිකාවෝ සතු වූහ.

මේ අතර පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අරුණ දර්ශන සහ රජිත රාජකරුණා සමත් වූහ.

අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී තත්පර 45.79ක දක්ෂතාවක් සමඟ දෙවැනි ස්ථානයෙන් අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අරුණ මූලික වටයේ සිව්වැනි තරගයේදී දෙවැනියා ලෙස තරගය නිමා කර තිබුණේ තත්පර 46.56කිනි.

එම ඉසව්වේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තත්පර 46.12ක දක්ෂතාවක් සමඟ අවසන් තරගයේ ස්ථානය වෙන් කර ගත් රජිත මූලික වටයේ පළමු තරගයේදී තත්පර 46.52ක කාලයක් සමඟින් තෙවැනි ස්ථානයෙන් අවසන් පූර්ව වටයට එක් විය. අවසන් පූර්ව තරගයේදී ඔහු වාර්තා කළ කාලය සිය හොඳම දක්ෂතාව ලෙස ද සටහන් කර ගත්තේය. මීටර් 400 කාන්තා ඉසව්වට එක්වූ නදීෂා රාමනායක තත්පර 53.06 දක්ෂතාවක් සමඟින් අවසන් තරග වරම් හිමි කර ගත්තාය.

කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් තරග බිමට පිවිසි රන්දි කුරේ මීටර් 13.17ක් වාර්තා කළ අතර, ඇයට හිමි වූයේ 6 වැනි ස්ථානයයි.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT