Tuesday, April 22, 2025
Home » හර්ෂිතා සමඟ එක්ව වාර්තාවක් පිහිටුවා චමරි ශ්‍රී ලංකාවට විස්සයි20 දිනුමකුත් ගෙනෙයි

හර්ෂිතා සමඟ එක්ව වාර්තාවක් පිහිටුවා චමරි ශ්‍රී ලංකාවට විස්සයි20 දිනුමකුත් ගෙනෙයි

by gayan
July 13, 2023 1:00 am 0 comment

නායිකා චමරි අතපත්තුගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති තෙවැනි විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 10ක විශිෂ්ට ජයක් අත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 තරගයකදී නවසීලන්ත පරාජය කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් තරගාවලියේ මුල් තරග දෙක ජයගත් නවසීලන්ත පිල තරග 3කින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේය.

පී. සරා ඕවල් පිටියේ ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත පිල ලකුණු 140කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 14.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කිසිවකුත් නොදැවී තිබියදීය.

චමරි අතපත්තු පන්දු 47කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර, ඇයට අනගි සහායක් දුන් හර්ෂිතා මාධවී නොදැවී ලකුණු 49ක් රැස් කළේ පන්දු 40කදී හතරේ පහර 7ක් සමඟිනි. චමරි ඊයේ 7 වැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කළ අතර, ඊට වැයවූයේ පන්දු 25ක් පමණි. මෙය වාර්තා අතරට එක් වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසිනි.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත පිල වෙනුවෙන් නායිකා සොෆී ඩිවින් පන්දු 25කින් ලකුණු 46ක් රැස් කරමින් වැඩිම ලකුණුලාභිනය බවට පත් වූවාය. සුසී බේට්ස් ලකුණු 37ක් රැස් කළ අතර, ශ්‍රී ලාංකික පන්දු යවන්නියන් හමුවේ සෙසු පිතිකාරිනියන්ට ලකුණු 20 සීමාව පසු කිරීමට නොහැකි වූහ. නවසීලන්ත අවසන් කඩුලු 5 ලකුණු 11ක් තුළ බිඳ වැටීම කැපී පෙනිණි.

මේ තරගයේදී සොෆී ජාත්‍යන්තර විස්සයි20 පිටියේ ලකුණු 3000 පසු කළ අතර, අඩුම ඉනිම සංඛ්‍යාවකදී එම සීමාව පසු කළ ක්‍රීඩිකාව බවට ද ඇය පත් වූවාය. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 3ක් දවාගත් අතර, සුගන්ධිකා කුමාරි කඩුලු 2ක් දවා ගත්තාය.

නවසීලන්ත කාන්තා පිල – 140/9 (ඕවර 20) සොෆී ඩිවින් 46, සුසී බෙට්ස් 37 (ඉනෝකා රණවීර 15/3, සුගන්ධිකා කුමාරි 23/2)

ශ්‍රී ලංකා කාන්තා පිල – කිසිවකු නොදැවී 143 (ඕවර 14.3) චමරි අතපත්තු නොදැවී 80, හර්ෂිතා මාධවී නොදැවී 49

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT