දඹාන එබ්බහැර, විළකණ්ඩිය රජයේ වනයේ, වසර 100කට අධික වයසැති දැවැන්ත විශාල කුඹුක් ගසක් කපා ලෑලි සඳහා කොළඹට ප්‍රවාහනය සඳහා සූදාම්කර මින් සිටි පිරිසක් වැලි ටිපර් රථයක් සමඟින් පසුගිය 05 දින රාත්‍රී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට 06 දින ඉදිරිපත් කර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මහියංගණ අඩවි වන කාර්යාල නිලධාරිහු සමත් වූහ.
ප්‍රවාහනයට සූදානම් කර තිබූ දැවැන්ත කුඹුක් කඳන් හා වැලි ප්‍රවාහන ටිපර් රථයක්, ට්‍රැක්ටර් ටේලරයක් හා ගස් කැපීම සඳහා යොදා ගන්නා යන්ත්‍රයක් හා වැලි ලොරියේ රියැදුරු හා සහයක යන සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට පත් වූහ. අත්අඩංගුවට ගත් ලොරි රථය මීට පෙරත් මෙම ජාවාරමට අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද ලොරි රථයකි.
මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු ප්‍රධාන දිසාවිනිසුරු රෂාන්ත සංජීව ජිනදාස මහතා විසින් සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටත්, අධිකරණයට ඉදිරිපත් කරන ලද වැලි ටිපර් රථය රුපියල් ලක්ෂ 30 ඇප බැඳුම්කරයක් මත මුදාහරින ලෙසටත් නියෝග කෙරිණි.
රජයේ රක්ෂිත භූමියේ “කුඩාඔය” ඇළ දෙපස වැඩී ඇති දැවැන්ත කුඹුක් ගස් කපා කොළඹට වැලි ප්‍රවාහනය කරන මුවාවෙන්, වැලි ලොරිවල වැලි යට සඟවා කොළඹට ප්‍රවාහනය කර, වැඩි මිලට විකිණීම මෙම ජාවාරම් කරුවන් දිගින් දිගටම සිදු කරන අතර, ධනවත්, ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වල පඩිපළවල් මත හා බිම ඇතිරීම සඳහා යොදා ගැනීමට මෙම කුඹුක් ලෑලි යොදාගැනීම හේතුවෙන් ඊට දැඩි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් මෙම ජාවාරම දැඩි ලෙස සිදු කෙරේ.
තල දෙකක් එකට පාස්සා තලයේ දිග වැඩිකර සාදාගත් ගස් කැපීමට යොදාගන්නා යන්ත්‍රයක්ද අත්අඩංගුවට පත් විය. නිලධාරීන්ගේ පැමිණීම වැළැක්වීම සඳහා රක්ෂිතයේ ගමන් මාර්ගයේ ස්ථාන රැසකම “පරාල ඇණ” ගැසූ රීප්ප පටි කොළරොඩු අතර සඟවා සහ වළදමා තිබියදී සොයා ගත් අතර, එවැනි එක් ඇණ ගැසූ රීප්ප පටියක් හේතුවෙන් නිලධාරීන් ගමන් ගත් රථයක ටයරයේ හුළං ගොස් රාජකාරි කටයුතුවලටද බාධා සිදුව ඇත.
මාපාකඩවැව සමූහ එච්. එම්. රංජිත් කරුණාවිර