මිනිස් ජීවිත 87ක් අහිමි වෙලා
අලි මිනිස් ගැටුම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වසර දෙක හමාරක කාලසීමාවක් තුළ මිනිස් ජීවිත 87ක් හා වන අලින් 208ක් මරණයට පත්ව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලින් අනාවරණය වෙයි.
පසුගිය 2021 වසරේ දී මිනිස් ජීවිත 32ක්, 2022 දී මිනිස් ජීවිත 37ක් හා 2023 ජුනි 30 දක්වා හය මාසයේ දී මිනිස් ජීවිත 18ක් වන අලින්ගේ පහරදීම්වලින් මියගොස් ඇත. 2021 දී වන අලින් 78ක්, 2022 දී වන අලින් 84 ක් හා 2023 මුල් හය මාසයේ දී වන අලින් 46ක් (වසර දෙකහමාරක කාලයේ දී) ලෙස අනුරාධපුර වනජීවී කලාපයේ දී මරණ සිදු වී ඇති බව ද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා පැවැති රැස්වීමක දී හෙළි කෙරිණි. මෙම තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි ආරක්ෂක නිලධාරී එම්. රත්නසිරි මහතා විසින් ඉදිරිපත් කෙරිණි.
අලි මිනිස් ගැටුම් පාලනය සඳහා විදුලිය වැට ඉදිකිරීම් සම්බන්ධයෙන් රැස්වීම අනුරාධපුර මහ දිසාපති ජනක ජයසුන්දර මහතා විසින් කඳවනු ලැබීය. පවතින මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අනුරාධපුර වනජීවී කලාපය හා වවුනියාව වනජීවී කලාපය ආවරණය වන ලෙස අලුතින් විදුලිය වැට හතක් ඉදිකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අනුරාධපුර වන ජීවී කලාපයේ විදුලිය වැට පහක් ඉදිකෙරෙන අතර, එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 272 කි. වවුනියාව වනජීවි කලාපයේ කිලෝමීටර් 71ක් පමණ දුර විදුලිය වැට දෙකක් අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා වෙන්කර ඇති මුදලින් රුපියල් මිලියන 88ක් ඉදිකිරීම් සමාගම් වෙත දීමට අනුමැතිය ලැබී ඇතැයි අනුරාධපුර දිසාපතිවරයා පැවැසීය.
ඉදිරි වර්ෂා සමය ආරම්භයට පෙර විදුලිය වැට ඉදිකිරීම් සිදුකරන ලෙස දිසාපතිවරයා, කොන්ත්‍රාත් බාර ආයතනවල නිලධාරීන්ට උපදෙස් ලබා දුනි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ.එස්. චන්ද්‍රරත්න, අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ සුසන්ත ඩී. මැදිවක මහත්වරු හා තවත් නිලධාරීහු රැසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
මිහින්තලේ – සී.මලවරආරච්චි