Home » ජූලි මාසය තුළ ‘අස්වැසුම‘ පළමු වාරිකය ගෙවීමට හැකියි

ජූලි මාසය තුළ ‘අස්වැසුම‘ පළමු වාරිකය ගෙවීමට හැකියි

by chanaka
July 13, 2023 4:43 pm 0 comment

අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා 980,000ක් සහ විරෝධතා 60,000ක් පිළිබඳ සොයා බැලීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර ජූලි මාසය තුළ අස්වැසුම පළමු වාරිකය ගෙවීමට හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් අභියාචනා හෝ විරෝධතා හේතුවෙන් යම් පවුල් ඒකකයක් වෙත වාරික ගෙවීම ප්‍රමාද වුවහොත් ජූලි සහ අගෝස්තු වාරික දෙකම එකවර ගෙවා දැමීමට හෝ කටයුතු කරන බව ද සේමසිංහ මහතා කියා සිටියි.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ සමීක්ෂණ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 1000ක පමණ අතිරේක මුදලක් වැය වී ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නගන චෝදනා පදනම් විරහිත බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ 2023 ජනවාරි මස 16 වැනි දිනැති කැබිනට් පත්‍රිකාව මගින් එක් අයදුම්කරුවකුගේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රුපියල් 300ක මුදලක් ගෙවීම අනුමත කර ඇති බවයි. ඒ අනුව අදාළ ගෙවීම එම සමීක්ෂණ කටයුතු සඳහා සහභාගී වන ඕනෑම කාර්ය මණ්ඩලයකට ලබා ගත හැකිය.ඒ අනුව මෙම කටයුත්තට දායක වූ 15,000ක් පමණ වන රජයේ නිලධාරීන්ට මෙම දීමනාව හිමි වූ බව සේමසිංහ මහතා කියා සිටියි.

ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිස මෙම වගකීම් සහගත කාර්ය මග නොහැර සහභාගී වූවේ නම් ඔවුන්ට ද මෙම දීමනාව හිමි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර සමෘද්ධී ලාභීන් අතරින් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම් කළ පවුල්වලින් 70%ක් අස්වැසුම ප්‍රතිලාභී ලැයිස්තුවට ඇතුළත් බවත්, 1,680,000 වූ සමෘද්ධි සහනාධාරය හිමි පවුල් සංඛ්‍යාව ඉක්මවා අස්වැසුම මගින් පවුල් 2,000,000කට සහන සැලසෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.සමෘද්ධි ලාභී පවුල් අතරින් 1,280,747ක් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති අතර ඉන් 70%ක් හෙවත් පවුල් 887,653ක් ඊට සුදුසුකම් ලබා සිටියි. මීට අමතරව ආබාධිත, වකුගඩු සහ වැඩිහිටි යන දීමනා ද සාමාන්‍ය පරිදි පුද්ගලන් ලක්ෂ පහකට පමණ හිමි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT