Sunday, April 20, 2025
Home » ලබන වසරේ සංවර්ධන ව්‍යාපෘති ගැන ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්

ලබන වසරේ සංවර්ධන ව්‍යාපෘති ගැන ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්

by chanaka
July 13, 2023 3:18 pm 0 comment

ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති වාර්තා සකසා ටෙන්ඩර් කැඳවීම් දැන්මම ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එවිට මුදල් ලැබුණු වහාම කල් නොයවා අදාළ ව්‍යාපෘති ආරම්භ කළ හැකි බවයි.

එමෙන්ම මේ වනවිට අතරමඟ නතරව ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන ලෙසත්, අවශ්‍යනම් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ලේකම්වරයාට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අද (13) සහභාගී වෙමිනි.

බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ඒ සම්බන්ධයෙන් අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී සාකච්ඡා කිරීමට වැඩ පිළිවෙලක් සකසන ලෙසයි.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් සහභාගීවන බැවින් එහිදී අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විවේඡනවලින් තොරව නිවැරිදි තීන්දු ගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ආයතන රැසක් පවතී. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එයට අවශ්‍ය මූලික වැඩ කටයුතු අමාත්‍යංශය යටතේ පාලනය වන එම ආයතන මගින් සිදුකර ගන්නා ලෙසයි. එවිට පිටස්තර ආයතනවලට ඇදී යන විශාල මුදලක් අමාත්‍යංශය තුලම රඳවාගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කීරීමේදී ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව එය ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී කීවේය. සුළු මුදලක් යොදා මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කළහොත් අතරමඟදී ඒවා නතර කර දැමීමමට සිදුවන බවද ඔහු කීවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එමඟින් මුදල් නාස්තිවීම පමණක් නොව මහජනතාව සහ රජයද අපහසුතාවයට පත්වන බවයි.

එබැවින් මින් ඉදිරියට උපදෙස් දුන්නද නිසි අධ්‍යයනයකින් තොරව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ නොකරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට කීවේය.

රජය මේ වනවිට ආර්ථික අර්බුදයකට මුහුණදී සිටී. එබැවින් රජයට බරක් නොවී රාජ්‍ය හා පුද්ගලික අංශය ඒකාබද්ධවී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා සහ අමාත්‍යංශය යට‍තේ ඇති ආයතනවල සභාපතිවරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT