Home » සරමක්-බැනියමක් ඇඳ මහමඟ වැටී මියගොස් සිටි ටැම්පිට විහාරාධිපතිගේ අබිරහස් මරණය ගැන විමර්ශනයක්

සරමක්-බැනියමක් ඇඳ මහමඟ වැටී මියගොස් සිටි ටැම්පිට විහාරාධිපතිගේ අබිරහස් මරණය ගැන විමර්ශනයක්

by gayan
July 13, 2023 1:00 am 0 comment

සරමකින් සහ බැනියමකින් සැරසී කැප් තොප්පියක් පැලඳ මහමඟ වැටී මියගොස් සිටි හතරලියද්ද ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති තුම්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුද්දෙණියේ සීලරතන හිමිගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් හතරලියද්ද පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විහාරස්ථානයේ සිට මීටර 600ක් පමණ දුරක මහාමාර්ගයේ මෙම හිමිනමගේ මළ සිරුර හමු වී ඇත්තේ ඊයේ (12) උදෑසනය.

මළ සිරුර අසල එළවළු මල්ලක් ද තිබී ඇත. මාර්ගයේ බිම වැටී මියගොස් සිටින්නේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ බව ගම්වැසියන් දැන ඇත්තේ මහමඟ වැටී සිටින මේ පුද්ගලයා කවුරුන්දැයි කළ සොයා බැලීමේදීය.

උන් වහන්සේ පෙරදින රාත්‍රී කාලයේ ද විහාරස්ථානයේ රැඳී සිට ඇති බවට තොරතුරු පොලිසියට ලැබී ඇත. බොහෝ විට උන් වහන්සේ විහාරස්ථානයෙන් මෙසේ පිටව ඇත්තේ මැදියම් රැයට ආසන්න වේලාවක් තුළදී බවත් ඒ යන අතරතුර මියගොස් ඇති බව පෙනී යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

උන් වහන්සේ මෙසේ වෙස් වළාගෙන ගමන් කරමින් සිට ඇත්තේ විහාරස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි ස්ථානයකට රහස් ගමනක් බවට සැක කරන තොරතුරු රැසක් පොලිසියට ලැබී ඇත.

උන් වහන්සේගේ ජංගම දුරකතනය ද මියගොස් සිටි තැන තිබී පොලිසියට හමු වී ඇත. එය පරීක්ෂා කිරීමෙන් උන් වහන්සේ අවසානයට සම්බන්ධකම් පැවැත්වූ අය කවුරුන්දැයි හඳුනා ගැනීමට හැකියාව ඇතැයි පොලිසිය කියයි.

උන් වහන්සේ වෙස් වළාගෙන විහාරස්ථානයෙන් පිටත්ව යෑමට පෙර තමන් වහන්සේ මුණගැසීමට යමින් සිටි තැනට දුරකතන ඇමතුමක් දී ඇති බව පොලිසිය විශ්වාස කරයි. උන් වහන්සේ මියගොස් සිටි ස්ථානයට ඊයේ උදෑසන ඒ අයද පැමිණ කඳුළු සලා ගොස් ඇති බවට තොරතුරු ද පොලිසියට ලැබී ඇත.

ඒ අය කවුරුන්දැයි ගම්වැසියන්ට රහසක් නොවන බවත් වෙනදාට ඒ අය විහාරස්ථානයට රාත්‍රී කාලයට පැමිණ හිමිනම මුණගැසී යන බවද ගම්වැසියන් අතර කථාබහක් ඇතැයි ද පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

උන් වහන්සේ වෙස්වළාගෙන විහාරස්ථානයෙන් පිටව ගොස් ඇත්තේ තමන්ගේ මෙම ගමන රහසක් ලෙස තබා ගැනීම වෙනුවෙන් විය හැකි බව පොලිසිය කියයි.

උන් වහන්සේගේ සිරුරේ පහර දීම් සලකුණු හෝ රිය අනතුරක් සිදුවූ බවට කිසිදු සලකුණක් නැති බව පොලිසිය කියයි. බොහෝ විට මෙම මරණය හෘදයාබාධයක් මත සිදුවූවක් විය හැකි බවට සැකයක් ද පවතින බව පොලිසිය කියයි. ඒ බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණය වනු ඇතැයි පොලිසිය කියයි. මෙම හිමිනම මෙසේ අපවත්වන විට 67 වැනි වියේ පසුවිය.

ගයාන් කුමාර වීරසිංහ, අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT