Home » ස්වීඩනයේදී කුරානයට ගිනි තැබීම ආගම් ඇදහීමේ නිදහස උල්ලංඝනය කිරීමක්

ස්වීඩනයේදී කුරානයට ගිනි තැබීම ආගම් ඇදහීමේ නිදහස උල්ලංඝනය කිරීමක්

මානව හිමිකම් කවුන්සිලය දැන් මොකද කියන්නේ?

by gayan
July 13, 2023 1:00 am 0 comment

  • රත්නපුර නව අධිකරණ සංකීර්ණය විවෘත කරමින් ජනපති පවසයි
  • අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මුවා වී කැලඹීම්වලට ඉඩ දෙන්න එපා
  • ආසියාවේ පැරණිම නීති පද්ධතිය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ

ස්වීඩනයේදී ශුද්ධ වූ කුරානය ගිනි තැබිමේ සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. දකුණේ ගෝලීය හර පද්ධතියට ගරු කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ රත්නපුර නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (11) පස්වරුවේ එක්වෙමිනි.

රත්නපුර ජනතාවට එකම ගොඩනැගිල්ලක් තුළ අධිකරණ කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව සලසාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටියදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මේ අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් 2018 සැප්තැම්බර් 10 වැනිදා ආරම්භ කෙරිණි. අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ මේ නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම් ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නොවන වියදම් සීමා කරමින් කාලීන අංගයන් පමණක් ඇතුළත් වන සේ ඉදිකිරීම් අවසන් කර ඇති අතර, ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1500කි. මහල් 4කින් සමන්විත මේ ගොඩනැගිලි සංකීර්ණය මහාධිකරණ දෙකක්, සිවිල් අභියාචනා මහාධිකරණයක්, දිසා අධිකරණ දෙකක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, නීති ආධාර මධ්‍යස්ථානයක් හා ප්‍රජා විශෝධන කාර්යාලයක් ඇතුළු අධිකරණ සංකීර්ණයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය.

සමරු ඵලකය නිරාවරණය කර අධිකරණ සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. එහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“මා හඳුන්වා දෙන අවස්ථාවේදී ප්‍රකාශ කළා මම අග්‍රාමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයේදී මේ අධිකරණ සංකීර්ණය ඉදිකිරීම පිළිබඳ යෝජනාව සම්මත කළා කියලා. අද මෙහි පැමිණි විට ඉතා අලංකාරවත් අධිකරණ සංකීර්ණයක් දක්නට තිබෙනවා. ඒ වගේම අද මෙහි පැමිණෙන විට මට සිහිපත් වුණේ 1977 මා මේ ප්‍රදේශයට පැමිණෙන විට මෙවැනි දියුණු මාර්ග පද්ධතියක් නොතිබු බවයි. පසුව නන්ද මැතිව් අමාත්‍යවරයා සහ කුලරත්න මහතා මේ මාර්ග ඉදිකර ප්‍රදේශය දියුණු කළා. අද මේ ගොඩනැගිලි සංකීර්ණය දෙස බැලූ විට පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යයට සරිලන අන්දමේ ගොඩනැඟිල්ලක් මෙහි තිබෙන බවයි. රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් අප මේ වන විට කැපවී කටයුතු කරනවා.

“අපේ රටේ ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍ය සහ නීතියේ ආධිපත්‍යය අත්වැල් බැඳගෙනයි ඉදිරියට යන්නේ. කිසිසේත් එයින් බැහැර වීමට නොහැකියි. එසේ නම් සියලු දෙනා ඊට සහාය දිය යුතුයි. අපේ අගවිනිසුරුතුමා ප්‍රකාශ කළ පරිදි අපට තිබෙන්නේ වසර 200කට වඩා පැරණි අධිකරණ ක්‍රමයක්. එසේ බලන විට ආසියාවේ පැරණිම නීති පද්ධතිය තිබෙන්නේ ලංකාවේ. ඒ වගේම අපේ අධිකරණ අමාත්‍යවරයාත්, අගවිනිසුරුතුමා සඳහන් කළ පරිදි නීතියේ ප්‍රමාදය අද විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. අප ඒ සඳහා කඩිනම් විසඳුම් සෙවිය යුතුයි.

“රටක් ඉදිරියට යෑමට නම් නීතියේ ප්‍රමාදයක් සිදුවිය නොහැකියි. සාමාන්‍ය ජනතාව පමණක් නොවෙයි ආයෝජකයන් පවා අද අපට නීතිමය කටයුතු ප්‍රමාදවීම පිළිබඳ විවිධ ගැටලු ඉදිරිපත් කරනවා. අගවිනිසුරුතුමා සමඟ සාකච්ඡා කර ආණ්ඩුව වෙනුවෙන් අදාළ ඇමැතිවරුන්, අගවිනිසුරුතුමා, අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිශ්චයකාරවරුන් වගේම මහාධිකරණ, දිසාඅධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ නියෝජනය කරමින්, ආණ්ඩු පක්ෂය, විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් වගේම නීතිඥ සංගමයේ නියෝජිතයන් සමඟ එකට එක්වී මේ ගැටලුව සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ නීති ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඇතැම් නීති අධිකරණය තරම්ම පැරණියි. පොලිස් ආඥා පනත දැන් වසර 175ක් තිස්සේ කිසිදු වෙනස්කමකට ලක් වෙලා නැහැ. විශේෂයෙන්ම අපේ අධිකරණ ඇමතිතුමා මේ ගැන විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. ඉස්සර නීතියක් සම්මත කර ගන්නේ මාස 6කට පමණ වරක්. නමුත් දැන් නිතර නව නීති ගෙන එනවා.

“අද මේ උත්සවයේ කටයුතු ආරම්භ කළේ ආගමානුකූලවයි. මින් පිළිබිඹු වන්නේ අපේ රටේ තිබෙන ආගමික ළැදියාව පමණක් නොවෙයි. මූලික අයතිවාසිකමක් ලෙස ආගමික නිදහස ආරක්ෂා වන බවත් එයින් පිළිඹිඹු වෙනවා. ආගම් ඇදහීමේ අයිතිය පිළිබඳ සමස්ත සංකල්පය දැන් අභියෝගයට ලක්ව තිබෙන අතර, මානව හිමිකම් කවුන්සිලය එළැඹෙන බ්‍රහස්පතින්දා වන විට ඒ පිළිබඳ තීරණයක් ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

“පසුගිය මාසයේ අග භාගයේදී සල්වාන් මොමිකා (Salwan Momika) නමැත්තකු ස්වීඩනයේ තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිටදී කුරානයක් පුලුස්සා දැමීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. පොලිසිය ඊට අවසර දීම ප්‍රතික්ෂේප කළත් එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් යැයි කියමින් ශ්‍රේෂ්ඨාධිකරණ පරිපාලන උසාවිය අවසර දුන්නා. මෙහිදී පොලිසිය ක්‍රියා කළේ ආගම් ඇදහීමේ අයිතිය මතයි. එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා. ශුද්ධ වූ කුරානයට ගිනි තැබීමෙන් පසු එම ප්‍රදේශයේ විශාල කලබලයක් ඇති වුණා. ස්වීඩනයට සියලු රටවලින් බලපෑම් එල්ල වුණා. සියලු දෙනා එය හෙළා දුටුවා. ඊශ්‍රායලය පවා සඳහන් කළේ මෙය සිදු නොකළ යුත්තක් බවයි. මෙය දෙවියන් පිළිබඳ ශුද්ධ වූ ග්‍රන්ථයක් වන අතර, එයට අගෞරව නොකළ යුතු බව එහිදී සඳහන් කෙරුණා. ස්වීඩනයද සඳහන් කරන්නේ ශුද්ධ වූ කුරානය ගිනි තැබීම පිළිකුල් සහගත සහ අගෞරවනීය ක්‍රියාවක් සහ උසිගැන්වීමක් බවයි. එහෙත් ඔවුන් පසුව කියා සිටියේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ රැස්වීම් පැවැත්වීමේ අයිතිය ව්‍යවස්ථාපිතවම ආරක්ෂා කළ යුතු බවයි. මේ ප්‍රතිචාරය හමුවේ ඇතැම් බටහිර ආණ්ඩු සඳහන් කළේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මෙය බවයි. මෙලෙස ඔවුන් එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට ගෙනාවා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් පාකිස්තානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් තිබෙනවා.

“මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර, එය 13 වැනි බ්‍රහස්පතින්දා ජිනීවාහිදී කැඳවා තිබෙනවා. දැන් මතු වන ප්‍රශ්නය මෙයයි. අප සියලු දෙනා මෙය සලකන්නේ ආගම් ඇදහීමේ නිදහස උල්ලංඝනය කිරීමක් විදයටයි. එහෙත් මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට ගෙන ඒමේ උත්සාහයක් තිබෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතට සියල්ල ගෙන ආ නොහැකි අතර, එහි සීමාවක් තිබිය යුතුයි. ඇතැම් රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන පවසන්නේ මේ යෝජනාව සම්මත වුව හොත් එය බටහිර රටවලට පසුබෑමක් වන බවයි. මෙය බටහිර හෝ නැඟෙනහිර හෝ උතුර හෝ දකුණ පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මේ ආගම් ඇදහීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්. මම මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයෙක් නොවෙයි. ඒත් මම හිතන්නේ ශුද්ධ වූ කුරානය බොහෝ වටිනා ග්‍රන්ථයක් බවයි. රේගෙදාස්හි භගවත් ගීතාව සහ බයිබලය ඒ හා සමානව අප සියලු දෙනාටම භාවිතා කළ හැකියි. ඒ හා සමානව ධම්ම පදයේ හෝ ත්‍රිපිටකයේ ප්‍රයෝජනවත් කරුණු ආදර්ශයට ගන්න බෞද්ධ නොවන ජනතාවත් සිටිනවා.

“එබැවින් අප සියලු දෙනාම මෙය ආගමට එරෙහි ප්‍රහාරයක් ලෙස සලකන නමුත් ඇතැම් බටහිර රටවලට අනුව එය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතට ගැනෙනවා. එසේ සිදු වී තිබෙන්නේ ඔවුන් පවතින ව්‍යාකූලත්වය අවම කිරීම සඳහා ප්‍රකාශනය පිළිබඳ සංකල්පය පුළුල් කිරීමට උත්සාහ කිරීම නිසයි.

“එමනිසා ඔවුන්ගේ මතය වන්නේ බටහිර රටවල හර පද්ධතිය ව්‍යාප්ත කිරීමට ඔවුන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යොදා ගන්නා බවයි. එසේම මේ හර පද්ධතිය ලෝකය පුරා ව්‍යාප්ත කළ යුතු බව ඔවුන් විශ්වාස කරනවා. අප සෑමවිටම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. නමුත් මම කතා කරන්නේ මේ සිදුවීමට අදාළවයි. මෙහිදී ශ්‍රී ලංකාව පිළිබඳ වෙන කිසිවක් කතා කිරීමට මම කටයුතු කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අත්සන් තැබුණු ගිවිසුමට අනුව අප අපගේ වගකීම් සපුරා නැති බව මම පිළිගන්නවා.

“ඒ නිසා අප තීරණය කළා අපේ අදහස් මොනවා වුණත් යුතුකම් ඉටු කරමින් ඉදිරියට යමු කියලා. අපි ජීනිවා මානව හිමිකම් කවුන්සලයෙන් අහන්නේ ඔබ ඇයි නිහඬ කියලා. කොමිසම මේ පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැත්තේ ඇයි? ඇයි ඔබ ඡන්දයක් එනකම් බලාගෙන ඉන්නේ? මෙය අප සියලු දෙනාටම ඉතා වැදගත් කාරණයක්. අපි පිළිපැදිය යුත්තේ කුමන හර පද්ධතිය දැයි පැවසිය යුතුයි. අපගේ අධිකරණ බලය සහ පරමාධිපත්‍යය ලැබෙන්නේ ජනතාවගෙනුයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් ලෙස අප මානව හිමිකම් ප්‍රකාශය අනුගමනය කළ යුතුයි. නමුත් එසේ නම් අප අනුගමනය කරන්නේ කුමන හර පද්ධතියක්ද? අපි මෙතෙක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සියලු නියමනයන් අනුගමනය කළා. නමුත් ප්‍රශ්නයක් මතුව තිබෙනවා. ඒ සියල්ල රඳා පවතින්නේ ඔවුන් ගන්නා ස්ථාවරය මතයි. ඔබේ ඇදහීමේ නිදහස අභියෝගයට ලක් කළ නොහැකියි. එමෙන්ම එයට වෙනත් අර්ථකථනයක් දෙමින් ප්‍රකාශනයේ නිදහසට මුවාවී ඇදහීමේ නිදහස අහිමි කළ නොහැකියි. මානව හිමිකම් ප්‍රකාශනය ඇති වූයේ එක්සත් ජනපද ජනාධිපතිවරයා භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කර ඇති අවස්ථාවකයි. ඔහු ප්‍රකාශ කළ පරිදි දෙවැනි නිදහස වන්නේ ඕනෑම අයෙකුට තම කැමැත්ත පරිදි දෙවියන්ට නමස්කාර කිරීමට ඇති නිදහසයි. නමුත් මානව හිමිකම් ප්‍රකාශය පරිදි එය ආගම සහ ඇදහීම ලෙස කොටස් දෙකකට බෙදී තිබෙනවා.

“එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති රූස්වෙල්ට් පවසා ඇති පරිදි මෙය පුද්ගලයකුගේ ඇදහීමේ නිදහස සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක්. මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලෙස අප සලකනවා නම් අපට ඉතිහාසය නැවත ලිවීමට සිදු වෙනවා. එසේ නම් සියලු යුදෙව් පොත් පත් සහ දෙව්මැඳුරු පුලුස්සා දැමූ ඇඩොල්ෆ් හිට්ලර්ව නොබෙල් ත්‍යාගලාභියෙක් කළ යුතුයි. ඒ නිසා දෙකින් එකක් අප තීරණය කළ යුතුයි. අපි මෙකක්ද කරන්න යන්නේ?

“අප බ්‍රහස්පතින්දා මොකද වෙන්නේ කියා බලමු. ඔවුන් බලපෑම්වලට නතුව මෙය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ලෙස විනිශ්චයක් දුන්නොත් එය දකුණ සහ බටහිර බලවතුන් අතර පැහැදිලි බෙදීමක් ඇති කරනවා.

“එසේම මෙය ඇදහීමේ අයිතියක් ලෙස ඔවුන් තීරණය කළොත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳ පැහැදිලි සීමාවන් නිර්වචනය කළ යුතුයි. මෙය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන හානිය පිළිබඳ ප්‍රශ්නයක්. එහිදී ඔබ අනුගමනය කළ යුත්තේ කුමක්ද? මම අපේ විදේශ ඇමතිගෙන් ඇහුවා පොදු රාජ්‍ය මණ්ඩලයේදී මේ ගැටලුව සාකච්ඡා කරමුද කියලා. එවිට අධිකරණ අමාත්‍යවරයා ඇතුළු පිරිසට ඒ පිළිබඳව තර්ක ඉදිරිපත් කිරීමට හැකියි. මම පළමුවෙන්ම කිව්වා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයාට කතා කරන්න කියලා. පෙදුරාජ්‍ය මණ්ඩලය මානව හිමිකම් පිළිබඳ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙය එක් පාර්ශ්වයකට පමණක් දිය නොහැකි අතර, එවිට එය දේශපාලනීකරණය වෙනවා. මෙය සමස්ත ජනතාවගේම අයිතිය විය යුතුයි. මෙය තමයි විශාලම අභියෝගය. මානව හිමිකම් කවුන්සිලය ජනතාවගේ ඇදහීමේ අයිතිය ආරක්ෂා කර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සීමා යොදනවාද, නැද්ද කියා තීරණය කළ යුතුයි. කෙසේ වෙතත් මෙය ආරම්භයක් පමණයි.

“එසේ වුවද මා සිතන්නේ අපගේම වටිනාකම්, දකුණේ රටවල සාරධර්ම, අයිතිවාසිකම්වලට මානව හිමිකම් කවුන්සිලය ගරු කළ යුතුයි. මෙය වෙනස් කිරීමට ගන්නා සියලු උත්සාහයන්ට එරෙහි වන ලෙස මම විදේශ අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පාකිස්තානයේ යෝජනාවට සහාය දීමේ පළමු පියවර අප ගත යුතුයි. බුදුන් වහන්සේ වදාළේ ‘සෑම ආගමික නායකයකුටම ගෞරවයෙන් සලකන්න’ යනුවෙනි. අප ද ඉල්ලා සිටින්නේ එයයි. අප පොදුරාජ්‍ය මණ්ඩලයේදී මේ කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා.”

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය

විජයදාස රාජපක්ෂ මහතා-

“මීට වසරකට පෙර මේ රටේ කිසිම නීතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාර ගැනීමෙන් පසු රටේ නීතිය නැවත ස්ථාපිත කරමින් රට සාමාන්‍ය තත්ත්වයට ගෙන එමින් සිටිනවා.

“2018 වසරේ මේ උසාවි සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේ එවකට සිටි අධිකරණ ඇමතිවරිය වූ තලතා අතුකෝරළ මහත්මියයි. වසර 05ක් ගතවීමෙන් පසු අද මේ අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමට හැකිව තිබෙනවා.

“රටේ දූෂණය වැළැක්වීම සඳහා නව පනත් 30කට අධික ප්‍රමාණයක් මේ වන විටත් අධිකරණ අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරියේදී නීතිගරුක රටක් ඇති කිරීම සඳහා අප කැපවීමෙන් කටයුතු කරන බව මේ මොහොතේ සිහිපත් කරනවා.”

අධිකරණ බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහත්වරු උත්සව සභාව ඇමතූහ.

ශ්‍රීපාදස්ථානාධිපති, රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, පැල්මඩුල්ල රජමහා විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ප්‍රමුඛ හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගමික නායකයන් ද නීතිපති සංජය රාජරත්නම්, ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්ච්, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, තලතා අතුකෝරල, වාසුදේව නානායක්කාර, ගාමිණි වලේබොඩ, අකිල එල්ලාවල මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ද මහාධිකරණ, දිසාඅධිකරණ සහ මහේස්ත්‍රාත් විනිසුරුවරුන් සහ රත්නපුර නීතිඥ සංගමයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

කුරුවිට – කේ.ඒ. සුනිල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT