Wednesday, April 23, 2025
Home » ලක්ෂ 23ක ගම්මිරිස් වංගු ගැසූ සොර මුළ සොයා විමර්ශන

ලක්ෂ 23ක ගම්මිරිස් වංගු ගැසූ සොර මුළ සොයා විමර්ශන

by gayan
July 13, 2023 1:00 am 0 comment

ගිරාඳුරුකෝට්ටේ පිහිටි කුළුබඩු තොග වෙළෙඳ ආයතනයකින් රුපියල් ලක්ෂ 77කට අධික වටිනාකමක් ඇති ගම්මිරිස් කිලෝ 5000ක් ඇණවුම් කර එම ගම්මිරිස් අතුරින් රුපියල් ලක්ෂ 23කට අධික වටිනාකමක් ඇති ගම්මිරිස් කිලෝ 1500ක් කුරුණෑගල වැලහේන ප්‍රදේශයේදී වංචාසහගත ලෙස පැහැරගත් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ගම්මිරිස් තොගය පැහැර ගැනෙන්නේ පසුගිය 07 වැනිදා දහවල් කාලයේදීය. ගිරාඳුරුකෝට්ටේ ආයතනයෙන් මෙම ඇණවුම කර ඇත්තේ දුරකතන ඇමතුමක් ලබා දෙමිනි. ඇණවුම්කරු පෙනී සිට ඇත්තේ ලොකු ව්‍යාපාරිකයකු ලෙසින් බව පොලිසිය කියයි. ගම්මිරිස් තොගය රැගෙන එන ලෙස දැනුම්දී ඇත්තේ කුරුණෑගල වැලහේන ප්‍රදේශයේ ගබඩාවකටය.

ගිරාඳුරුකෝට්ටේ කුළුබඩු ආයතනයේ සේවයේ නිරත සහකාර කළමනාකරු පදිංචිව සිටින්නේ කුලියාපිටිය ඉහළ වීරඹුව ප්‍රදේශයේය. ඇණවුමට අනුව ගම්මිරිස් තොගය ආයතනයෙන් කුරුණෑගලට ලොරි රථයක පටවා රියැදුරු සහ රිය සහායක සමඟ කුරුණෑගලට එවා ඇත්තේ පසුගිය 07 වැනිදාය. එම ගම්මිරිස් තොගය කුරුණෑගලට රැගෙන එන විට සහකාර කළමනාකරු සිට ඇත්තේ කුලියාපිටියේය. එබැවින් කිසිදු බියක් නැතිව ගිරාඳුරුකෝට්ටේ ආයතනය මඟින් මෙම ගම්මිරිස් තොගය කුරුණෑගලට එවා ඇත.

මෙම ගනුදෙනුව ගැන ආයතනයෙන් සහකාර කළමනාකරුට දැනුම් දෙමින් ඔහුට පවසා ඇත්තේ කුරුණෑගලට ගොස් ගනුදෙනුවට අදාළ මුදල ඔහු අතට ගන්නා ලෙසය. ඒ අනුව ඔහු සිය මිතුරකු සමඟ මෝටර් රථයක නැඟී කුලියාපිටියේ සිට කුරුණෑගල වැලහේනේ පිහිටි ගබඩාවට පැමිණ ඇත. එම ගබඩාව සුපිරි වෙළෙඳ සංකීර්ණයක ගබඩාවක් ලෙස පවත්වාගෙන ගොස් ඇති එකකි. එම ගොඩනැඟිල්ල දින කිහිපයකට පෙර කුලියට ගත් එකක් බවද සහකාර කළමනාකරුට පෙනී ගොස් ඇත. ඔහු එතැනට යන විටත් ගම්මිරිස් කිලෝ 1500ක් අඩංගු මලු 30ක් ලොරියෙන් බිමට බා තිබී ඇත. එහෙත් එහි ඇණවුම්කාර ව්‍යාපාරිකයා සිට නැත. ගබඩාවේ සේවකයන් බව කියන දෙදෙනකු පමණක් එහි සිටි බැවින් සම්පූර්ණ මලු බිමට බෑමට පෙර මුදල් ගෙවීමක් කරන ලෙස ඇණවුම්කරුට දුරකතන ඇමතුමක් දී සහකාර කළමනාකරු පවසා ඇත. ඇණවුම්කරු එහිදී පවසා ඇත්තේ තමා ව්‍යාපාරික ගනුදෙනුවක් සඳහා වාරියපොළ ප්‍රදේශයට පැමිණ ඇති බවය. තමා ගැන අවිශ්වාසයක් ඇත්නම් වාරිපොළට පැමිණෙන ලෙස එහිදී ඇණවුම්කරු පවසා තිබේ. ඒ වාරියපොළ පිහිටි රාජ්‍ය බැංකුවක නමක්ද පවසා එතැනට එන ලෙසිනි. ඒ අනුව ලොරි රථයේ රියැදුරු සහ රිය සහායක ලොරියද සමඟ වැලහේනේ ගබඩාව අසල තබා සහකාර කළමනාකරු සිය මිතුරා සමඟ මෝටර් රථයේ නැඟී වාරියපොළට ගොස් ඇත. එහෙත් එහිදී ඔවුන්ට ඇණවුම්කරු මුණගැසී නැත.

ඔවුන් දෙදෙනා එහි යන අතර ඇණවුම්කරුගේ ගෝලයන් පවසා ඇත්තේ කුරුණෑගල රත්කරව්වේ ඇති දෙවැනි ගබඩාවට ඉතිරි ගම්මිරිස් තොගය බෑමට ඇති බැවින් ලොරි රථය එහි රැගෙන යන ලෙසය. එහිදී ඔවුන් සමඟ ගබඩාව පෙන්වීමට දෙදෙනාගෙන් එක් අයකුද පැමිණ තිබේ.

එම පුද්ගලයා සමඟ වැලහේනේ සිට රත්කරව්ව දක්වා කිලෝමීටර 02ක දුරක් ගමන් කරන විට ගබඩාවේ සිට ලොරි රථයට ගොඩවූ පුද්ගලයා රියැදුරුට සහ සහායකට යෝජනා කර ඇත්තේ ප්ලේන්ටියක් බී යමු යැයි කියාය. ඒ අනුව ලොරි රථය හෝටලයක් අසල නතර කර ඔවුන් තිදෙනා තේ ඇණවුම් කර තිබේ. ඒ අතර ගබඩාවේ සිට වාහනයට ගොඩවූ පුද්ගලයා දුම්වැටියක් පානය කිරීමට යැයි කියා හෝටලයෙන් පිටතට පැමිණ ඇති බවත් අනතුරුව ඔහුව සොයා ගැනීමට නොහැකි වී තිබෙන බවත් පොලිසිය කියයි.

මඳ වේලාවක් හෝටලයේ රැඳී සිටි රියැදුරු සහ රිය සහායක නැවතත් වැලහේන ගබඩාව වෙත යන විට එහි බාන ලද ගම්මිරිස් කිලෝ 1500 උර 30ද අතුරුදන්ව තිබී ඇත. ඒ අනුව ඔවුන් තමන් වංචාවකට හසුවී ඇති බව දැන සහකාර කළමනාකරු සමඟ කුරුණෑගල පොලිසියට ගොස් මේ ගැන පැමිණිලි කර තිබේ.

කුලියට ගත් ලොරි රථයක දමාගෙන මෙම ගම්මිරිස් තොගය කුලියාපිටියට රැගෙන ගොස් පසුව ඒවා මහනුවරට කුලී ලොරි රථයකින් රැගෙන යෑමට උත්සාහ දරා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කුරුණෑගල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. ඒ බව ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ සහ බුද්ධි අංශ තොරතුරු ඔස්සේ අනාවරණය කරගෙන පැහැරගත් ගම්මිරිස් තොගයෙන් කොටසක් ද ඊයේ (12) වන විට සොයා ගැනීමට ‍කුරුණෑගල පොලිසිය සමත්ව ඇත.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT