- එක එන්නතක් ගහලා අත රිදෙනවා කිවුවම තව එකක් ගහලා
- මේක ටිකක් සැර එකක් කියලා තව ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඒක ගහලා මිසී අනිත් පැත්ත හැරෙනකොටම ‘අම්මා මගේ ඇස්වලින් සැරක් එනවා’ කියලා දුව කෑගැහුවා. මියගිය තරුණියගේ මව
උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට පෙරේදා (11) ඇතුළත් කළ 21 හැවිරිදි තරුණියක එන්නතක් ලබා දී සුළු වේලාවකට පසු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය රෝහල සහ පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචි චමෝදි සංදීපනි මධුෂිකා ජයරත්න නමැති තරුණියකි. උදරාබාධයක් හේතුවෙන් පසුගිය 10 වැනි දින කැටපිටිය රෝහලට ඇතුළත් කළ තරුණිය පසුදින ගිලන් රථයකින් ඇගේ මව සමඟ පේරාදෙණිය රෝහලට මාරුකර එවා ඇත. හදිසි ප්‍රතිකාර ඒකකයට පෙරවරු 9.00ට පමණ ඇතුළත් කළ තරුණිය දහවල් 12.30ට පමණ හතේ වාට්ටුවට යොමු කර තිබේ. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී හෙදියක විසින් එන්නත් දෙකක් ලබා දීමෙන් පසු තම දරුවා එක්වරම නිල් පැහැ වී මරණයට පත් වූ බව තරුණියගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය පැවසුවාය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය තරුණියගේ පියා වන වයි.ජී. ජයරත්න මහතා මෙසේ කීවේය.
දුව බඩ රිදෙනවා කිවුවා. බඩඑළිය සහ වමනය තමයි තිබුණේ. සඳුදා කැටපිටිය රෝහලට ඇතුළත් කළා. දුවට සුවයක් නොතිබුණු නිසා අඟහරුවාදා (11) එයාව ගිලන් රථයෙන් පේරාදෙණියට මාරුකර එවුවා. දුවත් එක්ක අම්මත් ඒ වාහනේ ආවා. උදේ 10.00ට විතර දුවව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරලා ප්‍රතිකාර ලබා දුන්නා. සේලයින් එකක් දීලා 12.00ට විතර 07 වාට්ටුවට දැම්මා. හවස තුනට විතර සේලයින් එකක් දීලා ඊට ටික වෙලාවකට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා. ඊට පස්සේ තමයි දුව නැති වෙලා තියෙන්නේ.
මියගිය තරුණියගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය මෙසේ පැවසුවාය.
වාට්ටුවේ මිසී කැනියුලා එකෙන් තමයි හවස 3.30ට විතර ඉන්ජෙක්ෂන් එක දරුවට දුන්නේ. ඒක ගැහුවට පස්සේ දුව කිවුවා අම්මා අත ටිකක් කකියනවා කියලා. මම ඒක කිවුවම නර්ස් නෝනා මේක ටිකක් සැර එකක් කියලා තව ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. ඒක ගහලා මිසී අනිත් පැත්ත හැරෙනකොටම අම්මා මගේ ඇස්වලින් සැරක් එනවා කියලා දුව කෑ ගැහුවා. ඊට පස්සේ දුව සේලයින් එකත් එක්කම ටොයිලට් එකට දිවුවා. මම මොකද දුවේ කියලා එයාගේ පස්සෙන් දිවුවා. දුව සින්ක් එකේ ඔළුව ගහගෙන හිටියා. එයාගේ කටින් සෙම ආවා. මුහුණ අතපය නිල් වුණා. අනේ මගේ මැණික කතා කරන්නකෝ කියලා මම කෑ ගැහුවා. එතකොට වාට්ටුවේ මිසීලා දුවගෙන ඇවිත් දුවව උස්සගෙන වාට්ටුවට අරන් ආවා. ඇඳට දාලා එයාගේ පපුව තෙරපනවා මම දැක්කා. ඒත් මගේ දුව ආයේ ඇස් ඇරියේ නැහැ. අනේ මගේ දරුවා බේරලා දෙන්න කියලා මම කෑගැහුවා. ඇයි මගේ ළමයට මේ වගේ බෙහෙතක් විද්දේ කියලා මම කෑ ගහලා ඇහුවා. හැමෝම බය වෙලා වගේ බලාගෙන හිටියා. හොඳට කතා කර කර හිටිය ළමයා මැරුණේ මේ ඉන්ජෙක්ෂන් එක ගහපු නිසයි.
සිද්ධිය පිළිබඳව විමසූ අවස්ථාවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පාලනාධිකාරියේ ප්‍රධානියකු පැවසුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.
මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විසින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ඊයේ (12) පස්වරුවේ සිදු කරනු ලැබීය. මරණය පිළිබඳ විවෘත තීන්දුවක් දෙමින් ශරීර කොටස් රසපරීක්ෂක වෙත යොමු නරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.
අසේල කුරුළුවංශ