Monday, April 21, 2025
Home » රට පුරා වාරි ව්‍යාපෘති 330ක් ඇරඹෙනවා

රට පුරා වාරි ව්‍යාපෘති 330ක් ඇරඹෙනවා

වැව් සභාව ජාතික වැඩසටහනින් අද

by gayan
July 13, 2023 1:00 am 0 comment

ඇමැති රොෂාන් රණසිංහ

අමෙරිකානු ඩොලර් මිලියන 25 ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කැඩී බිඳී ගිය වැව් අමුණු සහ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමේ ‘වැව් සභාව‘ ජාතික වැඩසටහන අද (13) පෙරවරු 10.01ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ වන බව ක්‍රීඩා හා යෞවන කටයුතු වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. ලෝක බැංකු ණය ආධාර යටතේ මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 25ක මුදලක් හිමි වන බවත් අද දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ව්‍යාපෘති 330ක විවිධ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බවත් ඇමැතිවරයා පැවසීය. ඇමැති රොෂාන් රණසිංහ මහතා මේ බව සඳහන් කළේ ‘වැව් සභාව‘ වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දෙන ණය මුදල වසර 40කට අධික කාලයක් ගෙවිය යුතු බවත්, එම මුදල නිසි පරිදි නිවැරදි ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම සිදු කරන බවත්ය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ මේ වෙනුවෙන් මෙම ව්‍යාපෘති 2473ක් ලැබී ඇති බවයි. එයින් ව්‍යාපෘති 330ක වැඩ කටයුතු අද ආරම්භ වන අතර, මාස 18ක් ඇතුළත මෙය අවසන් කළ යුතු බවයි. මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි අදාළ නිලධාරීන්, දේශපාලකයන් ඇතුළු සෑම පාර්ශ්වයක් සමඟම සාකච්ඡා කළ බවත්, විනිවිද භාවයෙන් යුතුව මෙය සිදු කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය. එමෙන්ම මෙහිදී වාරිමාර්ග, මහවැලි, කෘෂිකර්ම, ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම මේ ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යෑම, නඩත්තුව ආදිය සම්බන්ධයෙන් ගොවි සංවිධාන ආදිය වෙත පවා වගකීම් පැවරෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය: “අපි පසුගිය කාලය තුළ රටක් වශයෙන් ආර්ථික ප්‍රපාතයකට වැටුණා. රට බංකොලොත් වුණා. එතැනින් පසුවත් ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. ඉන්ධන, ගෑස්, විදුලිය ආදි ප්‍රශ්න රැසක් ඇති වුණා. රට තුළ ඇතිවූ මෙම අර්බුද කළමනාකරණය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ කළා. ඉන් පසුව ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වුණා. එතුමා පත්වී වසරක කාලයක් සපිරෙනවා. ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව පැවැති අර්බුද කළමනාකරණය වෙනුවෙන් විවිධ උත්සාහයන් දරමින් සිටිනවා. පසුගිය කාලය තුළ ඇතිවූ තත්ත්වයන් හේතුවෙන් රටේ සංවර්ධන ක්‍රියාවලිය, ප්‍රතිසංස්කරණ, විවිධ ව්‍යාපෘතීන් වෙනුවෙන් මුදල් වෙන් කිරීම සිදුකරන්නට බැරිවුණා.ඒ වගේම අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අපේ තිබුණ ප්‍රශ්න ටික විසඳීමට කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ රජය තීරණය කර තිබෙනවා. ඒත් අපේ රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටු කරන අපගේ වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන්, මෙන්ම නඩත්තු කිරීම වෙනුවෙන් සහයෝගය දෙන ලෙස අපි ලෝක බැංකුවෙන් ඉල්ලා සිටියා. ඔවුන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කළා. ඒ අනුව ඒ වෙනුවෙන් සහයෝගය දීමට ලෝක බැංකුව කැමැත්ත පළ කළා. ඒ අනුව ඩොලර් මිලියන 25ක මුදලක් දීමට ඒ අය කැමැත්ත පළ කර තිබෙනවා. එය ණය මුදලක් ලෙසයි දෙන්නේ.“

රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා: “රටේ ගොවි ජනතාව ශක්තිමත් කිරීමට ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ලෝක බැංකුව මේ මුදල් දෙනවා. ගොවි ජනතාව හරහා රටේ ආහාර නිෂ්පාදන වැඩසටහනට මේ මුදල් යෙදවීමයි අපේක්ෂාව වන්නේ. ඒ වගේම ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ මුදල නිවැරදිව යෙදවීමේ බරපතළ වගකීම අපි සියලු දෙනාටම පැවරෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවන්ද මාස හයෙන් හයට කැඳවනවා.“

මෙහිදී වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් යූ.සී.සී. ජයලාල් මහතා ඇතුළු පිරිසක්ද අදහස් දැක්වූහ.

ඡායාරූප – සුදත් නිශාන්ත

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT