Home » දේශගුණික විපත්වලින් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 380ක පාඩුවක්

දේශගුණික විපත්වලින් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 380ක පාඩුවක්

by gayan
July 13, 2023 1:00 am 0 comment

පරිසර ඇමැති නසීර් අහමඩ්

දේශගුණික විපත්වලින් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 380ක පාඩුවක් සිදුවන බව පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ දේශගුණය හේතුවෙන් සිදුවන අලාභ හා හානිවලට පිළියම් යෙදීමට අදාළ හිඩැස් සහ අවශ්‍යතා හඳුනාගැනීමේ වැඩමුළුව පසුගියදා (10) කිංග්ස්බරි හෝටලයේදී ආරම්භ විය.

පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා එහි ප්‍රධාන දේශනය පැවැත්වීය.

පරිසර අමාත්‍යාංශය සහ SLYCAN භාරය එක්ව සංවිධාන කරන මේ වැඩමුළුවේ අරමුණ ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස නිසා වර්ධනය වන අභියෝගවලට විසඳුම් සෙවීමයි.

ඇමැති නසීර් අහමඩ් මහතා මෙසේද පැවසීය.දේශගුණික විපර්යාසවල අලාභ හා හානිය ජාත්‍යන්තර දේශගුණ සාකච්ඡාවලදී වඩාත් වැදගත් වී ඇති බව පැවසීය. ආන්තික කාලගුණික සිදුවීම් උග්‍රවීම සහ සෙමින් ආරම්භ වන සිදුවීම් ඇතුළත් දේශගුණික බලපෑම්වලට දැඩිව ගොදුරු විය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව ලක් වේ.මෙවැනි අහිතකර සිදුවීම් ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික ප්‍රගතියට මෙන්ම අපගේ ආහාර සුරක්ෂිතතාවට සහ ජීවනෝපායට ද බලපාන බව ඇමතිවරයා කීවේය.

ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයට අනුව 2019 වසරේ ආන්තික කාලගුණික තත්ත්වයන්ගෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රටවල් අතර ශ්‍රී ලංකාව 30 වැනි ස්ථානයට පත්ව ඇති බව සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මේ ශ්‍රේණිගත කිරීම මගින් රට සුළි කුණාටු, ගංවතුර සහ වෙනත් දේශගුණික විපත්වලට ගොදුරුවීමේ හැකියාව පිළිබිඹු කරයි. මීට අමතරව, ලෝක බැංකුව විසින් වාර්තා කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 87% ක් මධ්‍යස්ථ හෝ දැඩි උණුසුම් ස්ථාන වල වාසය කරයි. එය උෂ්ණත්වය ඉහළයෑම හා සම්බන්ධ අවදානම් තවත් උග්‍ර කරන බවත් ඇමැතිවරයා කීවේය.

දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් 2050 වන විට වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% ක පාඩුවක් සිදුවිය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව ඇස්තමේන්තු කර ඇත.එවැනි පාඩු රටේ ආර්ථික සංවර්ධනයට සහ සමස්ත යහපැවැත්මට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව ඇමැති නසීර් අහමඩ් මහතා අවධාරණය කළේය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, SLYCAN භාරයේ විධායක අධ්‍යක්ෂ වොසිතා විජේනායක මහත්මිය ඇතුළු ලේකම්වරුන්, අතිරේක අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරුන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT