ගොවි ජනතාව අමතක කර රටේ ආර්ථික සංවර්ධනය ඇති කළ නොහැකි බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අපනයනය ඉලක්ක කර ගනිමින් ගොවීන් නඟාසිටුවීම සඳහා දේශීය බීජ බෙදාදීම ඊයේ (12) මීපේ, මාවතගමදී ආරම්භ කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහයෝගයක් දීම රජයේ ඊළඟ අරමුණ බව අගමැතිවරයා කීවේය.අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“මොහොතකට හැරී බැලුවොත් අද කඩා වැටී සිටි තත්ත්වයෙන් රට ගොඩගෙන තිබෙනවා. ඊට ප්‍රධානම බලවේගය වුණේ ගම්බද ගොවි ජනතාවයි. අපට තිබෙන ඉඩම්වල කොපමණ ප්‍රමාණයක් වගා කර නැද්ද කියලා හොයාගන්න. වතු සමාගම්වලට දුන්නට වඩා අපට දුන්න නම් ඉවරයි කියා ගොවීන්ගෙන් පැමිණිලි තිබෙනවා. ඒ සඳහා භූමිය නිදහස් කිරීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා.
“ගොවි ජනතාව අමතක කර රටේ ආර්ථික සංවර්ධනය සහ බලාපොරොත්තු වන ආර්ථික ස්වයංපෝෂිත තාව ඇති කරන්න බැහැ. අපේ ගම්වල ආහාර ස්වයංපෝෂිත කර ගත හැකි ආකාරයට රට ගෙනියන්න පුළුවන්. ගම්වාසී රටවැසියා මේ බව ඔප්පු කර තිබෙන දෙයක්. අදට අවුරුද්දක් වෙනවා. රටේ කලබල ඇති වෙලා. රට අඩපණ වෙලා රටම අරාජික වුණා. නීතියක් රීතියක් නැති රටක් වුණා. මේ අවුරුද්දේ ඔබට අපට පුළුවන් වුණා දේශපාලනයටත් වැඩිය රට ගොඩ ගන්න ඕනෑ කියන හැඟීමකින් කටයුතු කරන්න. එහි ප්‍රධානතම ඉලක්කය වුණේ ජාතික නිෂ්පාදනය වැඩි කිරීමයි. ඒ වගේම රටේ නීතිය හා සාමය රැකීමයි.”
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි මහත්වරුන්ද, සීතාවක හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම්වරු සහ ගොවීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
නුවන් කොඩිකාර සහ පාදුක්කේ රෙක්සි වෙත්තසිංහ