Home » නාවික ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉගෙන ගන්නා සරසවි සිසුන්ට ඩොක්යාඩ් ආයතනයේ පුහුණු රැකියා

නාවික ඉදිකිරීම් ක්ෂේත්‍රය ඉගෙන ගන්නා සරසවි සිසුන්ට ඩොක්යාඩ් ආයතනයේ පුහුණු රැකියා

by gayan
July 13, 2023 1:00 am 0 comment

නාවික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉගෙනුම ලබන තරුණ තරුණියන්ට ඩොක්යාඩ් ආයතනයේ පුහුණු අවස්ථා ලබාදීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල නාවික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉගෙනුම ලබන තරුණ තරුණියන් සඳහා ප්‍රායෝගික පුහුණුව දිය හැකි හොඳම ස්ථානය කොළඹ වරායේ පිහිටි ‘කලම්බු ඩොක්යාඩ්’ ආයතනය බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ‘කලම්බු ඩොක්යාඩ්’ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (12) එක්වූ අවස්ථාවේදීය.

ප්‍රථම වතාවට වෙළෙඳ නෞකා සැලසුම් ශිල්පීය උපාධි පාඨමාලාව රුහුණු විශ්වවිද්‍යාලය විසින් ආරම්භ කර ඇති බවද, ඉන් 20 දෙනෙකු උපාධි පාඨමාලාව සම්පූර්ණ කරමින් සිටින අතර ඔවුන්ට මාස 06ක ප්‍රායෝගික පුහුණුවක් ‘කලම්බු ඩොක්යාඩ්’ ආයතනය මගින් මේ වනවිට දෙන බවට ආයතන කළමනාකාරිත්වය විසින් දන්වා ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි.

නවීන හා ඉහළ තාක්ෂණය සහිතව ක්‍රියාත්මක වන කාර්මික ආයතනයක් වන ‘කලම්බු ඩොක්යාඩ්’ ආයතනයේ කටයුතු සහ පුහුණු ආයතනයක් ලෙස පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු කළ ඇමැතිවරයා ත්‍රිකුණාමලය වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අවශ්‍යය ඉඩකඩ ලබාදීමට හැකි බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවට නාවික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇති කාර්මික හැකියාව පුළුල් කර ගැනීම සඳහා ‘ඩොක්යාඩ්’ ආයතනයේ නොමඳ දායකත්වය ලබාදෙන ලෙස ඇමැතිවරයා මෙහිදී ඉල්ලා සිටි අතර ඒ සඳහා ඔවුන් යහපත් ප්‍රතිචාරයක් දක්වමින් ඉදිරියේ දී ත්‍රිකුණාමල වරායේ පාවෙන යාත්‍රා මත (Floating Crafts) සිදුකෙරෙන අලුත්වැඩියාවන්හි පුහුණු අවස්ථා ලබාදීමට ද කටයුතු කරන බව පැවසීය.

මේ නිරීක්ෂණ චාරිකාවේ දී ‘ඩොක්යාඩ්’කළමනාකාරීත්වය විසින් වීඩියෝ ඉදිරිපත් කිරීමක් කළ අතර මේ වනවිට විවිධ ඉල්ලීම් අනුව යුරෝපීය සහ ආසියාතික රටවලට නෞකා 236ක් ඉදි කර භාරදී ඇති බවත්, මේ ආයතනයේ 3000ක පමණ පිරිසක් සේවයේ නිරත වන බවත් හෙළි විය.

ඉන් අනතුරුව ඇමැතිවරයා ‘කලම්බු ඩොක්යාඩ්’ අංගණයේ ඉදිවෙමින් තිබූ ‘Sophia Germain’ සහ ‘Misje Viola’නෞකාවන් දෙක ද නිරීක්ෂණය කළේය. අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා , වරාය අධිකාරියේ නිලධාරීන් ද ‘කලම්බු ඩොක්යාඩ්’ ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT